නීති­යට යටත් නොවන කිසි­වෙක් සිටින්න බැහැ. – ජනා­ධි­පති

නීති­යට යටත් නොවන කිසි­වෙක් සිටින්න බැහැ. මොන බලය තිබු­ණත්, මොන කාල­යක් විරා­ජ­මා­නව වැජ­ඹු­ණත්, මොන හස්තය තිබු­ණත් ඒ කිසි­වක් අප සල­කන්නේ නැහැ. වැරදි කරන සියලු දෙනාට නීතිය ක්‍රියා­ත්මක කර­නවා යැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය.

මාතලේ, වීර කැප්පෙ­ටි­පොළ ශාලා­වේදී ඊයේ (12) පෙර­ව­රුවේ පැවති මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වී­මේදී ජනා­ධි­ප­ති­ව­රයා මේ බව අව­ධා­ර­ණය කළේය.

කිසි­සේත්ම අසා­ධා­ර­ණව පළි­ගැ­නීමේ චේත­නා­ව­කින්, වෛර­යෙන්, ක්‍රෝධ­යෙන් නීතිය ක්‍රියා­ත්මක නොවන බව කී ජනා­ධි­ප­ති­ව­රයා, නීතිය ක්‍රියා­ත්මක වන්නේ සාධා­ර­ණව බව ද සාධා­ර­ණව නීතිය ඉටු නොවන තැනක් ඇත්නම් කියන්න යැයිද ප්‍රකාශ කළේය. අපි සියලු දෙනා පළ­මුව නීති­යට යටත් විය යුතු බවත් දෙව­නුව නීති­යට බිය විය යුතු බවත් අක්‍ර­මි­ක­තා­වන්ට බිය නොවී ඉදි­රි­යට යා නොහැකි යැයිද ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී කියා සිටි­යේය.

“නීතිය හමු­වට පරී­ක්ෂ­ණ­යක් සඳහා යම් කෙන­කුගේ නමක් කිය­වුණා නම්, කට­උ­ත්ත­ර­යක් ගත යුතුයි. එය මහා ව්‍යස­න­යක් බවට පත් කරන සංස්කෘ­ති­යක් අපේ රටට අවශ්‍ය නැහැ. මා අතින් යම් දෙයක් වුණා නම් කට­උ­ත්ත­ර­යක් ගන්න පුළු­වන්. නීති­යට උඩින් අපි නැහැ. නමුත් එවැනි සංස්කෘ­ති­යක් සමා­ජ­යක් හදන්න උත්සා­හ­යක් තිබෙ­නවා. සියලු දෙනා නීති­යට යටත් රටක් ගොඩ­න­ඟමු.

රාජ­කා­රිය පිළි­බඳ බියක් ඇති කර ගන්න එපා. නීති රාමුව තුළ කට­යුතු කර­මින් ජන ජීවි­තය ගොඩ­නං­වමු” යැයි ද හෙතෙම කීවේය.

එමෙන්ම දිට්වා වෙනු­වෙන් රජය වෙන් කළ රුපි­යල් බිලි­යන 500ක ප්‍රති­පා­දන පීඩා­වට පත් ජන ජීවි­තත්, එම ප්‍රදේ­ශත් සංව­ර්ධ­නය වෙනු­වෙන් ඵල­දා­යීව සහ කාර්ය­ක්ෂ­මව යෙද­වී­මට මැදි­හ­ත්වීම දේශ­පා­ලන අධි­කා­රියේ මෙන්ම රාජ්‍ය නිල­ධා­රීන්ගේ වග­කීම බව ද ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය. මේ වසර අව­සන් වන විට එම සියලු ව්‍යාපෘති අව­සන් කිරීමේ අව­ශ්‍ය­තාව ද ජන­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

බලය, ධනය සහ දේශ­පා­ලන සබ­ඳතා මත නීතිය ඉටු නොවූ සංස්කෘ­තිය වෙනස් කර සියලු දෙනා නීති­යට යටත් වන නව සංස්කෘ­ති­යක් ඇති කිරීමේ පිය­වර රජය මේ වන විට තබා ඇති බව එහිදී පෙන්වා දුන් ජනා­ධි­ප­ති­ව­රයා, සියලු දෙනා නීති­යට යටත් වන රටක් ගොඩ­නැ­ඟීම මහා ව්‍යස­න­යක් ලෙස සමා­ජ­ගත කිරී­මට ඇතැ­මුන් උත්සාහ කරන බවත්, ශිෂ්ට­ස­ම්පන්න රටක් ගොඩ­නැ­ඟී­මේදී සියලු දෙනා නීති­යට යටත් වන සමා­ජ­යක් නිර්මා­ණය කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

නීතිය රාජ්‍ය නිල­ධා­රීන්ට තම රාජ­කාරි නිසි ලෙස ඉටු කිරී­මට බාධා­වක් නොවන බව මෙහිදී අව­ධා­ර­ණය කළ ජනා­ධි­ප­ති­ව­රයා, අවශ්‍ය නම් නීති සංශෝ­ධන ද ගෙන ආ හැකි බවත්, පව­තින නීති­රා­මුව තුළ කට­යුතු කර­මින් රජයේ මුදල් ඉතා සැල­සුම් සහ­ග­තව සහ ඵල­දා­යීව යොද­ව­මින් ජන ජීවි­තය ගොඩ­නැං­වී­මට උප­රි­ම­යෙන් කැප­වෙ­මු­ යැ­යිද සියලු දෙනාට ආරා­ධනා කළේය

දිට්වා සුළි කුණා­ටු­වෙන් විනාශ වූ මිනිස් ජීවිත සහ දේපොළ සඳහා වන්දි ගෙවීම, නිවාස සහ ජන ජීවි­තය යථා තත්ත්ව­යට පත් කිරී­මට ගෙන ඇති පිය­වර සහ එහි ප්‍රග­තිය පිළි­බ­ඳව එහිදී ජනා­ධි­ප­ති­ව­රයා පුළුල් ලෙස විමසා බැලීය. දිට්වා සුළි කුණා­ටු­වෙන් හානි වූ පවුල් සඳහා ලබා දුන් රුපි­යල් 25,000ක සහ 50,000ක දීම­නාව මාතලේ දිස්ත්‍රි­ක්කය තුළ මේ වන විට සම්පූ­ර්ණ­යෙන් ගෙවා අව­සන් කර තිබෙන අතර, රු: 15,000 සහ රු:10,000 සෙසු දීම­නාව ද සම්පූ­ර්ණ­යෙන් ගෙවා අව­සන් කර තිබෙන බව එහිදී නිල­ධා­රීහු පෙන්වා දුන්හ.

ආපදා තත්ත්වය හේතු­වෙන් දිස්ත්‍රි­ක්කයේ නිවාස 254කට පූර්ණ හානි සහ නිවාස 3,829කට අර්ධ හානි සිදු වූ අතර තක්සේ­රු­ව­කින් තොරව වන්දි ලබා දිය හැකි සියලු නිවාස වෙනු­වෙන් මේ වන විට වන්දි ලබා දී අව­සන් බවත්, ඉතිරි නිවා­ස­ව­ලට අදාළ තක්සේරු ගණ­නය කිරීම මේ වන විට සිදු කෙරෙන බවත් නිල­ධා­රීහු පෙන්වා දුන්හ.

ඉඩ­මෙහි හිමි­කම නොමැති වීම, අධි­අ­ව­දා­නම් කලා­ප­වල පිහි­ටීම සහ රක්ෂි­ත­ව­ලට අයත් වීම යන විවිධ තත්ත්ව­යන් හේතු­වෙන් මතුව ඇති ගැට­ලු­ව­ලට ලබා දිය හැකි විකල්ප විස­ඳුම් පිළි­බ­ඳව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම කට­යුතු කඩි­නම් කිරීම වෙනු­වෙන් පව­තින නිර්ණා­ය­ක­ව­ලට සංශෝ­ධන ගෙන ඒම පිළි­බ­ඳව ද එහිදී සාක­ච්ඡා­වට ලක් විය.

ආපදා තත්ත්වය හේතු­වෙන් අහිමි වූ ජීවිත සඳහා වන්දි ලබා දීම, අධි­අ­ව­දා­නම් තත්ත්වය හේතු­වෙන් ඉවත් කළ පවුල් සඳහා වන්දි ලබා දීම, නිවාස කුලී දීමනා ලබා දීම, NBRO වාර්තා ලබා දීමේ ප්‍රග­තිය, නිවස ඉදි­කි­රීමේ සහ ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රග­තිය පිළි­බ­ඳව ද එහිදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විමසා බැලීය.

දිට්වා සුළි කුණා­ටු­වට හසු වූ අධි­අ­ව­දා­නම් කලා­ප­වල සියලු පවුල් ඉන් ඉවත් කිරීමේ අව­ශ්‍ය­තාව මෙහිදී අව­ධා­ර­ණය කළ ජනා­ධි­ප­ති­ව­රයා, ඊට අදා­ළව නීති සකස් කිරීමේ වැද­ග­ත්කම ද පෙන්වා දෙමින් ඔවුන් කඩි­න­මින් වෙනත් ස්ථාන­වල පදිංචි කිරීම ප්‍රමුඛ කාර්ය­යක් සේ සල­කන ලෙස නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය.

එමෙන්ම, සුළි කුණා­ටු­වෙන් මවු­පි­යන් අහිමි වූ දරු­වන් රැක බලා ගැනීම සහ ඔවුන්ගේ අනා­ග­තය සුර­ක්ෂිත කිරී­මට ගෙන ඇති පිය­වර පිළි­බ­ඳව ද විමසූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එම එක් එක් දරුවා වෙනු­වෙන් වැඩ­ස­ට­හන් සකස් කර කාන්තා හා ළමා කට­යුතු අමා­ත්‍යාං­ශය වෙත යොමු කරන ලෙස ද අදාළ නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය.

දිස්ත්‍රි­ක්කයේ පාසල් පද්ධ­තියේ මතුව ඇති ගැටලු පිළි­බ­ඳව ද එහිදී සාක­ච්ඡා­වට ලක් වූ අතර පාසල් පද්ධ­තිය යළි ස්ථාන­ගත කිරීම වෙනු­වෙන් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය යටතේ ක්‍රියා­ත්මක සැලැ­ස්මට අනු­කූ­ලව අදාළ ඉඩම් නිද­හස් කිරීමේ සහ පාසල් ගොඩ­නැ­ඟිලි ඉදි­කි­රීමේ වැද­ග­ත්කම පැහැ­දිලි කළේය. එමෙන්ම දිට්වා සුළි කුණා­ටු­වෙන් හානි වූ මාතලේ දිස්ත්‍රි­ක්කයේ මාර්ග සංව­ර්ධන වැඩ­පි­ළි­වෙ­ළෙහි ප්‍රග­තිය ද ජනා­ධි­ප­ති­ව­රයා විමසා බැලීය.

සුළි කුණා­ටු­වෙන් මාතලේ දිස්ත්‍රි­ක්කයේ ඒ හා බී ශ්‍රේණියේ මාර්ග 16ක් සහ පාලම් 02ක් විනා­ශ­යට පත් වූ අතර, එම මාර්ග 16හි සහ එක් පාල­මක ඉදි­කි­රීම් මේ වන විට අව­සන්ව ඇති බව නිල­ධා­රීන් පෙන්වා දුන් අතර, ඉති­රිව ඇති මොර­ග­හ­කන්ද පාලම ස්ථිර පාල­මක් ලෙස කඩි­න­මින් යළි ඉදි­කි­රීම පිළි­බ­ඳ­වද සාක­ච්ඡා­වට ලක් විය.

එමෙන්ම, සංචා­රක කර්මා­න්තය සඳහා සුවි­ශේෂී වැද­ග­ත්ක­මක් දක්වන රිව­ස්ටන් මාර්ගය සහ දීර්ඝ­කා­ලීන ගැට­ලු­වක් වූ ගලේ­වෙල – මාතලේ මාර්ගයේ ඉදි­කි­රීම් කට­යුතු පිළි­බ­ඳව ද විමසූ ජනා­ධි­ප­ති­ව­රයා එම කට­යුතු කඩි­නම් කරන ලෙස නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය. පළාත් පාලන ආය­තන සතු මාතලේ දිස්ත්‍රි­ක්කයේ ආප­දා­වට ලක් වූ මාර්ග, පාලම්, බෝක්කු සහ ජල ව්‍යාපෘති යථා තත්ත්ව­යට පත් කිරීමේ ප්‍රග­තිය ද එහිදී සමා­ලෝ­ච­න­යට ලක් කෙරිණි.

කර්මාන්ත අමා­ත්‍යාං­ශය යටතේ වන්දි ගෙවී­මේදී සේවා අංශයේ විනා­ශ­යට පත් වූ ව්‍යාපාර, සංචා­රක අංශය සහ පතල් අංශය සඳහා වන්දි ගෙවීමේ ක්‍රියා­ව­ලිය සහ මතුව ඇති ගැටලු පිළි­බඳ සාක­ච්ඡා­වට ලක් විය. කෘෂි­ක­ර්මා­න්තය සහ සත්ත්ව නිෂ්පා­දන ක්ෂේත්‍රය යථා තත්ත්ව­යට ගෙන ඒමට ගෙන ඇති පිය­වර පිළි­බ­ඳව ද එහිදී විමසූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා නිෂ්පා­දන ආර්ථි­කය ඉලක්ක කර ගනි­මින් ග්‍රාමීය කෘෂි ­ක­ර්මා­න්තය ප්‍රව­ර්ධ­නය වෙනු­වෙන් රජය විශේෂ අව­ධා­නය යොමු­කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

2026 අය-වැය ප්‍රති­පා­දන යටතේ ක්‍රියා­ත්මක මාතලේ නගර සංව­ර්ධන සැලැස්ම සහ දඹුල්ල රෝහල වෙනත් ස්ථාන­ය­කට ගෙන යෑමේ ව්‍යාපෘ­තිය පිළි­බ­ඳ­වත් එහිදී සාකච්ඡා කෙරුණු අතර, අදාළ ව්‍යාපෘති නිසි කාලය තුළ ක්‍රියා­වට නංව­මින් එහි ප්‍රති­ලාභ ජන­තා­වට ලබා දීමට කැප­වීමේ අව­ශ්‍ය­තාව ද අව­ධා­ර­ණය කළේය.

මාතලේ දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සභා­පති බුද්ධ­ශා­සන, ආග­මික සහ සංස්කෘ­තික කට­යුතු නියෝජ්‍ය ඇමැති ගම­ගෙ­දර දිසා­නා­යක, මාතලේ දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු සම සභා­පති මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය සරත් අභ­ය­කෝන්, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන සුනිල් බිය­න්විල, දිනේෂ් හේමන්ත, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේම­සිංහ මහ­ත්වරු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

එමෙන්ම ප්‍රාදේ­ශීය සභා සභා­ප­ති­ව­රුන් ඇතුළු දේශ­පා­ලන නියෝ­ජි­ත­යන් ද, අත්‍ය­වශ්‍ය සේවා කොම­සා­රිස් ජන­රාල් සහ ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති, ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් විශ්‍රා­මික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා, මාතලේ දිස්ත්‍රික් ලේකම් එල්.පී. මද­නා­යක මහ­ත්වරු සහ අදාළ දෙපා­ර්ත­මේන්තු ප්‍රධා­නීන්, ආර­ක්ෂක අංශ නියෝ­ජි­තයෝ ඇතුළු රාජ්‍ය නිල­ධා­රීහු පිරි­සක් ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

උපුටා ගැනීම දිනමිණ

Social Sharing
නවතම පුවත්