
ගෙවුණු බ්‍රහස්පතින්දා (මැයි 7) දින සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලෝකයේ, විශේෂයෙන්ම ඇමරිකාවේ, අධ්‍යාපන ආයතන දහස් ගණනක අධ්‍යයන කටයුතු අකර්මන්‍ය වුනා. මෙම සයිබර් ප්‍රහාරය එල්ල වූයේ ඉන්ස්ට්‍රක්චර් සමාගම විසින් සපයන කැන්වස් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියටයි.
ඇමරිකාවේ උසස් අධ්‍යයන ආයතන වලින් 41%ක් පමණත්, පාසැල් විශාල ප්‍රමාණයකුත් කැන්වස් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතා කරන අතර එම ආයතන වල උගන්වන පාඨමාලා හා අදාළ සටහන්, පැවරුම් හා විභාග ආදිය සිසුන් වෙත ලබා දෙන්නේ කැන්වස් යෙදුම් මෘදුකාංග වේදිකාව හරහායි. පසුගිය බ්‍රහස්පතින්දා ෂයිනිහන්ටර්ස් නම් වූ සයිබර් අපරාධකරුවන් කණ්ඩායමක් විසින් මෙම පද්ධතියට අනවසර ප්‍රවේශයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
ලෝකයේ වෙනත් රටවල් ගණනාවක ඉගෙනුම් කළමනාකරණ පද්ධති වෙළඳපොළ තුළ වෙළඳපොළ ප්‍රමුඛයා වන්නේ මූඩල් යෙදුම් මෘදුකාංගය හෝ D2L, බ්ලැක්බෝඩ් වැනි වෙනත් යෙදුම් මෘදුකාංගයක් වුවද, එම අනෙකුත් රට වලටද, වෙළඳපොළ ප්‍රමුඛයා නොවේනම්, කැන්වස් යෙදුම් මෘදුකාංගටද සැලකිය යුතු වෙළඳපොළ පංගුවක් තිබෙනවා.
සයිබර් ප්‍රහාරකයින්ට අනුව, මෙම සයිබර් ප්‍රහාරය ලොව පුරා අධ්‍යයන ආයතන නව දහසකට පමණ බලපෑමක් සිදු කර තිබෙනවා. මෙම උසස් අධ්‍යාපන ආයතන අතර ඇමරිකාවේ හාවඩ්, MIT, කොලොම්බියා, බර්කලී වැනි විශ්ව විද්‍යාල මෙන්ම ඔක්ස්ෆර්ඩ්, ටොරොන්ටෝ, ඇඩිලේඩ්, ඕක්ලන්ඩ්, හොන්කොන් පොලිටෙක්නික් වැනි ලොව පුරා රටවල් ගණනාවක පිහිටි ප්‍රධාන පෙළේ සරසවි ගණනාවක් තිබෙනවා.
ඇමරිකාව, කැනඩාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල අධ්‍යයන වර්ෂය සාමාන්‍යයෙන් අවසන් වන්නේ මැයි මාසයේදීයි. මෙම ප්‍රහාරය සිදු වූයේ බොහෝ උසස් අධ්‍යාපන ආයතන වල අවසන් විභාග පැවැත්වෙන සතියේදී වන අතර, එම හේතුවෙන් එහි බලපෑම විශාල ලෙස වැඩි වී තිබුණා.
බ්‍රහස්පතින්දා ප්‍රහාරය සිදු වූයේ අදාළ කණ්ඩායම විසින් ඊට පෙර සිදු කර ඇති දත්ත සොරකමක දෙවෙනි පියවරක් ලෙසයි. මෙම පළමු අදියරේදී කැන්වස් යෙදුම් මෘදුකාංගය හරහා සිසුන් මිලියන ගණනකගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට සමත් වූ බව දැනුම් දෙමින් අදාළ කණ්ඩායම විසින් ඉන්ස්රක්චර් සමාගම වෙතින් කප්පම් ලබා ගැනීමට උත්සාහ කළද, එයට ප්‍රතිචාර ලෙස ඉන්ස්රක්චර් සමාගම විසින් කළේ සිය පද්ධතියේ ආරක්ෂාව තර කෙරෙන ක්‍රියාමාර්ග ගැනීමයි. තමන්ගේ මුල් ඉල්ලීම නොසලකා හැරීම පිළිබඳව නොසතුටට පත් වූ හැකර් කණ්ඩායම විසින් ඉන්ස්රක්චර් සමාගමේ පාරිභෝගිකයින් වන ආයතන නව දහසකට ආසන්න ප්‍රමාණයක ලැයිස්තුවක් ප්‍රසිද්ධ කර එම ආයතන වලින් කප්පම් ඉල්ලා සිටියා.
ඉහත ආයතන වලට එම ආයතන වල රහසිගත තොරතුරු ප්‍රසිද්ධ කරනු ලැබීම වලක්වා ගැනීම සඳහා හැකරුන් සමඟ එකඟතාවයකට පැමිණීමට ලබා දී තිබුණු අවසන් දිනය ඊයේ දිනයයි (මැයි 12). මේ වන විට වාර්තා වන පරිදි, ඉන්ස්ට්‍රක්චර් සමාගම විසින් ෂයිනිහන්ටර්ස් කණ්ඩායම සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, සොරකම් කරන ලද දත්ත මකා දැමීමට ඔවුන් එකඟ වී තිබෙනවා.
මේ සමස්ත සිදු වීම මෙවැනි තවත් සයිබර් අපරාධ ප්‍රවර්ධනය කෙරෙන පූර්වාදර්ශයක් වෙයිද?
