නිළධාරිනියකට පහර දුන් ප්‍රධාන ඉන්ජිනේරුවාගේ වැඩ තහනම්!

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ නිලධාරියෙකු, එම කාර්යාලයේ සේවිකාවකට පහරදීමේ වීඩියෝවක් ඊයේ (24) සමාජ මාධ්‍ය ජාලා වල සැරිසරන ප්‍රධාන වීඩියෝව බවට පත් ව තිබුණි.

ඒ වීඩියෝවට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි තිබු අතර ඉන් බොහෝ දෙනා විමසා තිබුණේ මේ කාන්තාව වෙනුවෙන් පෙනි සිටිමට කිසිවෙකුත් නැතිද යන්නයි.

ප්‍රසිද්ධ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ යාබද ඉඩමේ පිහිටි මේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය තුල සේවය කරන්නේ ඉතාමත් සිමිත කාර්ය මණ්ඩලයකි.

මෙම කාර්යාලයේ ප්‍රධනා ඉංජිනේරුවා මෙලෙස එහි සේවය කරන කළමණාකරන සහකාර නිලධාරිනියකට පහර දී ඇත්තේ දුරකථන අංකයක් සම්බන්ධයෙන් ඇති වූ බහිනබස් වීමකදීය.

මොහු ඇයගෙන් දුරකථන අංකයක් ඉල්ලා ඇති අතර එය ඇය රසික කියන නැමැත්තෙකුගෙන් ඉල්ලාගෙන ගෙන ගොස් දෙන අවස්ථාවේ ඇය කියා සිටින්නේ,

“සර්ගෙන් මට පුදුම මානසික වදයක් තියෙන්නේ. මං මේවා ඉහළට කියලා මාරු වෙලා යනවා. නිකන් නෙමේ රෙකොඩ් කරලා දීලා යන්නේ” යනුවෙනි.

මෙහිදී එම ප්‍රධාන ඉංජිනේරුවා ඇය අසලට පැමිණ ඇයට පහර දෙන විට ඇය මහ හයියෙන් කෑ ගැසීම නිසා කාර්යාලයේ පිරිමි පාර්ශවය පැමිණ ඇයව ඔහුගේ කාමරයෙන් ඉවතට ගෙන යන්නේ, ඔහොමත් සර් ගෑණියෙකුට ගහනවාද? යැයි විමසමිනි.

මේ සියල්ල ඒම පහර කෑමට ලක් වූ කාන්තාව විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් පරිදියි විශේෂ  විමර්ශනයක් අද (25)  ආරම්භ කරමින් ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම ඇයට පහර දීම සම්බන්ධයෙන් ප්‍රධාන ඉංජිනේරුවරයා අද (25) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන අයිතීන් සුරැකීමේ පදනමද අද (25) දින පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් කරමින් කියා තිබුණේ අදාල පුද්ගලයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසටය.

මීට පෙරද එක්තරා ආයතනයක ප්‍රධානියෙකු සිය ‌සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වූ අතර එම පුද්ගලයාටද පසුව නීතිය ක්‍රියාත්මක කෙරුණි.

රජයේ කාර්යාල තුලදී මෙවන් වධහිංසනයට ලක් වෙන කාන්තාවන් බොහෝමයක් සිටින නමුත් ඉන් අනාවරණය වන්නේ අතලොස්සක් පමණි. බොහෝ කාන්තාවන් තම ප්‍රධානීන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට අකමැත්තෙන් සියල්ලව නිහඬව විඳ දරා ගනිති.

-ශානිකා-

Social Sharing
නවතම