චක්‍රලේඛ නොසලකන හෙද ලොක්කන් ගැන හෙද සංගම් මුනිවත රකී!

රටපුරා කොවිඩ් 19 වෛරසය පැතිර යාම නිසා අවම සේවකයන් යොදාගෙන සේවා පවත්වන ලෙස ජනාධිපති කාර්යාලය හා සෞඛ්‍ය අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛණයක් නිකුත්කර තිබියදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් අදාල චක්‍ර ලේඛ අභිබවමින් කටයුතු කිරීම නිසා තමන් දැඩි පීඩාවට පත් වී සිටින බව හෙද හෙදියන් පිරිසක් අනාවරණය කළහ.

කොරෝනා තත්වය ඇතිවීම නිසා පසුගිය අප්‍රේල් මස 18 දින ජනාධිපති ලේකම් කාර්යාලය හා සැප්තැම්බර් මස 23 වනදා සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කල ලිපිය කිසිදු සැලකිල්ලකට නොගන්නා විශේෂ හෙද නිලධාරිනියක ඉතා අත්තනෝමතිකව ක්‍රියා කරනා බව හෙද නිලධාරීන් අනාවරණය කළහ.

කොරෝනා වසංගත තත්වය හමුවේ ජනාධිපති කාර්යාලය විසින් නිකුත්කල චක්‍රලේඛ අංක PS/GPA/චක්‍රලේඛ 20/2020 හා ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කල අංක MH/secretary/covid 19/01 දිනැති ලිපියට අනුව ආයතන තුල අවම සේවක සංඛ්‍යාවක් යොදාගෙන රාජකාරි ඉටුකර ගන්නා ලෙස දන්වා ඇති බව ඔවුන් පෙන්වා දුන්හ.

අදාල චක්‍රලේඛ වලට අනුව අවම සේවක සංඛ්‍යාවක් යොදාගෙන සෑම වාට්ටුවකම සේවා අඛණ්ඩව පවත්වාගෙන කාර්යක්ෂමව සේවා ඉටුකරනා ලෙස ලිපියේ දක්වා ඇති බව හෙද හෙදියන් අනාවරණය කළ අතර වාට්ටු බාර නිලධාරීන් විසින් තම වාට්ටුවේ සිටින සේවක සංඛ්‍යාව සේවා ප්‍රමාණය සැලකිල්ලට ගෙන අවම සේවක ප්‍රමාණයක් යොදා ගෙන අවශ්‍යතාව අනුව සේවා අඩාල නොවන අන්දමින් කටයුතු කරනා ලෙස දන්වා ඇති බවද ඔවුන් අනාවරණය කළහ.

සෙසු හෙද හෙදි නිලධාරීන් හදිසි අවශ්‍යතාවකදී ගෙන්වා ගැනීමට හැකිවන ලෙස (stand by) පවත්වාගෙන නිසි වැඩපිලිවෙලක් සකසා ගතයුතු බවත් රෝහල් වැඩ බලන අධ්‍යක්ෂවරයා විසින් වාට්ටු භාර හා අංශ බාර නිලධාරීන්ට බලය පවරා ඇතත් ඒ කිසිඳු කටයුත්තක් සිදුනොකරමින් විශේෂ ශ්‍රේණියේ ප්‍රධාන හෙද නිලධාරිනියක අත්තනෝමතිකව කටයුතු කරනා බව ඔවුන් පැවසූහ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ හෙද නිලධාරීන් පිරිසක් අවම සේවක සංඛාවක් පවත්වා ගැනීමට විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය ඉඩ දෙන්න නෑ. ඇය විසින් අත්තනෝමතිකව දින පහලොවකට නිවාඩු තුන බැගින් ගන්න කියලා හෙද නිලධාරීන්ට බලපෑම් කරමින් සිටිනවා.

ඒකක භාර නිලධාරීන්ට උක්ත චක්‍රලේඛයෙන් බලය පවරා තිබුනත් එය ඉටු කිරීමට නොහැකිවී තිබෙනවා. මේ නිසාවෙන් හෙද හෙදියන් ඉතා අපහසුතාවට පත්වී තිබෙනවා. නමුත් හෙද සංගම් මුනිවත රකිනවා. කොවිඩ් 19 වෛරසය පැතිර යන මෙවන් සමයක හෙද හෙදියන් ඉදිරිපෙල සටන් වදිද්දී හෙද පරිපාලනය නිසා හෙද හෙදියන් පීඩාවට පත්වීම මහත් අභාග්‍යක්.

අපි රට රකින්නේ දරුවෝ බිරින්දෑවරු දෙමව්පියෝ ඉන්න වටපිටාවක. සමහරුන්ගේ පවුලේ සැමියා බිරිද දෙදෙනාම හෙද සේවයේ. අපි මානසිකත්ව දුර්වල කරන්න එපා. අපේ දරුවනුත් ආරක්ෂා වෙන්න ඕන. අපි රාජකාරියට සූදානම් නමුත් ඒක ක්‍රමවේදයට කරන්න ඕන  යනුවෙන් ඔවුන් පැවසූහ.

මේ සම්බන්ධයෙන් විමසීම සදහා අනුරාධපුර ශික්ෂන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් වීරවර්ධන මහතා සම්බන්ධකර ගැනීමට උත්සහ කලත් ඒ මහතා දුරකථනයට පිළිතුරු නොදැක්වීය.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම