
ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් සයිබර් ප්‍රහාරයක් මඟින් අනවසර ගිණුමකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විධිමත් විමර්ශන හා ජාත්‍යන්තර සහයෝගීතාව මඟින් අදාළ මුදල් යළි ලබාගැනීමට හැකිවනු ඇති බවට සුබවාදී බලාපොරොත්තුවක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, විවිධ රටවල් අතර පවතින සයිබර් ආරක්ෂණ සහයෝගීතා ජාල මඟින් මෙවැනි මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධීන්හිදී අහිමි වන මුදල් යථා තත්ත්වයට පත් කරගැනීමට අවස්ථාව ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.
මෙම වංචාව ‘Business Email Compromise‘ (BEC) හෙවත් ආයතනික විද්‍යුත් තැපැල් ගිණුමකට අනවසරයෙන් ප්‍රවේශ වී සිදුකරන සයිබර් වංචා වර්ගයකට අයත් විය හැකි බව ද අනාවරණය වී තිබේ. මෙවැනි වංචාවලදී වංචාකරුවන් ආයතනයේ උසස් නිලධාරීන් හෝ විශ්වාසවන්ත සැපයුම්කරුවන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ තොරතුරු යොදාගෙන මුදල් හුවමාරු කිරීමට උත්සාහ කරන බව සඳහන් වේ.
මෙම සිද්ධියට අදාළව භාවිත කර ඇති තාක්ෂණික ක්‍රමවේද, දත්ත විශ්ලේෂණය සහ ඩිජිටල් සටහන් සොයා බැලීම සඳහා CERT ආයතනය විසින් විශේෂඥ සහය ලබාදීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.
අදාළ මුදල් විදේශීය රටවල් කිහිපයක් හරහා හුවමාරු වී ඇති බවට සැක පවතින බැවින්, විමර්ශන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් සිදු කිරීමට ද පියවර ගෙන ඇත. ඒ සඳහා ජාත්‍යන්තර පොලීසිය (Interpol) ඇතුළු විදේශීය පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සමඟ සමීපව සම්බන්ධ වී කටයුතු කරන බව ද සඳහන් වේ.
මේ අතර, මෙවැනි සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන් වැඩි අවධානයෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් අවධාරණය කරයි.
