තුෂාර උපුල්දෙණියගේ මානව හිමිකම් කඩවී ඇති බව මානව හිමිකම් කොමිසම පවසයි

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීම හා වැඩතහනම් කිරීම නිසි නීතිමය පටිපාටියට අනුව සිදුකර නොමැති බවත්, එම ක්‍රියාමාර්ග හේතුවෙන් ඔහුගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර තිබේ.

ඒ, උපුල්දෙණිය මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය අවසන් කිරීමෙන් අනතුරුවය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට ද මානව හිමිකම් කොමිසම නිගමනය කර ඇත.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට එරෙහිව චෝදනා එල්ලවීමත් සමඟ, ජනාධිපති කාර්යාලය සිදුකළ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම විමර්ශන කටයුතු අපක්ෂපාතීව සිදුකිරීමේ අරමුණින්, 2025 ජුනි 09 දින රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් උපුල්දෙණිය මහතාගේ වැඩතහනම් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, 2025 ජුනි 10 දින උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, පසුව ඔහු ඇප මත මුදාහැර තිබුණි.

මෙම ක්‍රියාවලිය තුළ තම සැමියාගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින්, උපුල්දෙණිය මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී, උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිසි සහ ප්‍රමාණාත්මක විමර්ශනයක් සිදුකර නොමැති බව කොමිසම නිරීක්ෂණය කර ඇත.

එමෙන්ම, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිවැරදි හා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකිරීම, වින්දිතයාගේ ප්‍රකාශ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොකිරීම ඇතුළු අඩුපාඩු කිහිපයක් ද නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ.

තවද, උපුල්දෙණිය මහතාගේ වැඩතහනම් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ පත්‍රිකාව තුළ, සිදුවීම හා ඔහු සම්බන්ධ කරුණු ප්‍රමාණවත් ලෙස ඉදිරිපත් කර නොමැති බව ද කොමිසම පෙන්වා දෙයි.

වින්දිතයා දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස බලතල නිලධාරීන් වෙත අභිනියෝජනය කර තිබූ පසුබිමක, ඔහුගේ වැඩතහනම් කිරීම ප්‍රශ්න සහගත බව ද කොමිසම සඳහන් කර ඇත.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නීතියෙන් නියමිත ක්‍රියාපටිපාටිය අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාව (නීතිය පසිඳලීමේ සමානභාවය) සහ 13(1) ව්‍යවස්ථාව (අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම හා දඬුවම් කිරීම වැළැක්වීම) උල්ලංඝනය වී ඇති බව නිගමනය කර තිබේ.

මෙම පසුබිම තුළ, පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සුදුසු පියවර ගත යුතු බව මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

එසේම, උපුල්දෙණිය මහතාගේ වැඩතහනම් කිරීම සම්බන්ධයෙන් සියලු කරුණු සලකා සුදුසු පියවර ගෙන ඒ පිළිබඳ කොමිසම දැනුවත් කළ යුතු බව ද සඳහන් කර ඇත.

මෙම නිර්දේශ 2026 අප්‍රේල් 30 වන දිනට පෙර ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දන්වා ඇත.

Social Sharing
නවතම පුවත්