පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 435 දෙනෙකු සාර්ථකව අයදුම් කරයි.

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි 2026 අප්‍රේල් මස 04 වන දින මධ්‍යහන 12.00ට අවසන් කර තිබේ.

මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතුරින් 435 දෙනෙකු පත්වීම් සඳහා සාර්ථකව අයදුම් කර ඇති අතර, එය මුළු පිරිසෙන් 96%ක් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කළ රෝහල් සහ සෞඛ්‍ය ආයතන ප්‍රාථමිකතා සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් නව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.

විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන මෙම අනුයුක්ත කිරීම් මඟින් දිවයින පුරා පවතින වෛද්‍ය හිඟය සපුරාලීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

තෝරා ගන්නා ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන් අනුයුක්ත කරන ලද සේවා ස්ථාන සහ සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර ඉදිරියේදී කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්