
ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව 2026 සිට 2030 දක්වා කාලය සඳහා ‘ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව’ (Country Partnership Framework) නව සැලැස්ම හඳුන්වා දී තිබේ.
මෙම නව සැලැස්ම යටතේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ඩොලර් බිලියනයකට අධික ආයෝජන සිදු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් වේ. එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ශක්තිමත් කරමින්, පෞද්ගලික අංශය මූලික කරගත් වර්ධනයක් හරහා රැකියා අවස්ථා පුළුල් කිරීමත්, සියයට 7ක ආර්ථික වර්ධන ඉලක්කයක් සපුරාලීමත් අරමුණු කර ඇත.
මෙම සැලැස්ම අනුව වරාය හා ලොජිස්ටික්, බලශක්තිය, අපනයන කේන්ද්‍රීය කෘෂිකර්මය සහ සංචාරක කර්මාන්තය ඇතුළු ප්රමුඛ ආර්ථික ක්ෂේත්‍ර සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම අපේක්ෂා කෙරේ.
එමෙන්ම කාන්තා හා තරුණයන්ගේ ආර්ථික සහභාගීත්වය වැඩිදියුණු කිරීම, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කිරීමද මෙම නව සැලැස්ම මඟින් සිදු කිරීමට නියමිතය.
ඒ සමඟම, අනාගත ආර්ථික අභියෝග සහ දේශගුණික ආපදාවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ හැකියාව වර්ධනය කිරීමත්, දිගුකාලීන ආර්ථික ස්ථායීතාවයක් සුරක්ෂිත කිරීමත් මෙම හවුල්කාරිත්ව රාමුවේ ප්‍රධාන අරමුණු අතර වේ.
