හිටපු ඇමැති පියං­ක­රට එරෙහි නඩුව ඉව­ත්කර ගන්නැයි කළ ඉල්ලීම අල්ලස් කොමි­සම ප්‍රති­ක්ෂේප කරයි

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව, වරද පිළිගෙන හෝ කොමිසම නියම කරන කොන්දේසි සම්පූර්ණ කිරීමේ එකඟතාව යටතේ ඉල්ලා අස්කර ගැනීමට විත්තිය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා, පැමිණිල්ලේ සාක්ෂි විමසීමට නියෝග කරමින් නඩුව විභාගයට ගැනීමට නියම කළේය.

මෙම නඩුව පවරා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් පැවැත්වූ ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයේ ගෙවීම් සම්බන්ධයෙන් සිදු වූ බවට පවසන දූෂණ චෝදනාවක් මතය. ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් දූෂණය නමැති වරද යටතේ මෙම නඩුව පවරා ඇත.

විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට දැනුම් දී තිබුණේ, දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ වරද පිළිගෙන වන්දි මුදලක් හෝ දඩයක් ගෙවීම මඟින්, හෝ කොමිසම නියම කරන වෙනත් කොන්දේසි සම්පූර්ණ කිරීමේ එකඟතාව යටතේ නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙසයි.

කෙසේවෙතත්, එම වගන්තිය සීමිත කාරණා කිහිපයකට පමණක් අදාල වන බව සඳහන් කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මහත්මිය, විත්තිකරුට එම වගන්තිය යටතේ ඉල්ලීමක් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව, නඩුව විභාගයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ විත්තිකරුට චෝදනා කියවා දෙන ලදී.

මෙම නඩුව ලබන මැයි මස 6 වැනිදා යළි කැඳවීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව මෙම නඩුවට අමතරව තවත් නඩු 4ක් ද පවරා ඇති බව වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්