මෙරට අධිකරණයට e-filing පද්ධතිය හඳුන්වා දෙමින් පළමු නඩු විභාගයත් පවත්වයි.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ ඉතිහාසයේ පරිවර්තනීය යුගයකට ප්‍රවේශ වෙමින් නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීමේ (e-Filing) පද්ධතිය හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන ලද මෙම e-Filing පද්ධතිය, අධිකරණ ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි. 2026 පෙබරවාරි 10 වැනිදා සිට මෙම පද්ධතිය ක්‍රියාත්මක කර ඇති අතර, නීතිඥවරුන්ට ඉලෙක්ට්‍රොනිකව නඩු ගොනු කිරීම සඳහා පහසුකම් සලසා ඇත. මේ වන විට නඩු ගොනු කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රමාණයක් මෙම පද්ධතිය ඔස්සේ සිදු කර ඇති බව සඳහන් වේ.

මෙම ක්‍රියාවලියේ විශේෂ සන්ධිස්ථානයක් ලෙස, 2026 මාර්තු 26 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘත අධිකරණයේ කඩදාසි රහිත (paperless) විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය පැවැත්වුණි. එම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සහ ආචාර්ය සෝභිත රාජකරුණා මහතා ඇතුළු විනිසුරු මඩුල්ලක් හමුවේ සිදු කරන ලදී.

මෙම නඩුව සුවිශේෂී වන්නේ, 2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්ණ පත්‍රය විභාග දිනට පෙර පිටවීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව අනුව රජයට ගෙවීමට නියමිත රුපියල් මිලියන 3 ක වන්දි මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධ නඩුවක් වීමයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී සාම්ප්‍රදායික කඩදාසි නඩු ගොනුව වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සකස් කරන ලද ඩිජිටල් නඩු ගොනුව පරිගණකය හරහා විනිසුරු මඩුල්ල විසින් පරිශීලනය කරන ලදී.

වගඋත්තරකරුට එරෙහි චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් මනෝදි හේවාවසම් මහත්මිය විසින් විවෘත අධිකරණයේදී පැහැදිලි කර, එම චෝදනා පත්‍රයට ඩිජිටල් අත්සන තබා විද්‍යුත් පද්ධතිය වෙත මුදා හැරීම මඟින් අදාළ පාර්ශව වෙත ප්‍රවේශය ලබා දී ඇත. නඩුවේ ඉදිරි විභාගය 2026 මැයි 14 වැනි දිනට කල් තබා තිබේ.

මෙම e-Filing යෙදවුම, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන “e-Court” ව්‍යාපෘතියේ වැදගත් කඩඉමක් ලෙස සැලකේ. මෙම පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහාය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සංවර්ධනය කර ඇති අතර, එහි තාක්ෂණික සංවර්ධනය ශ්‍රී ලංකා ටෙලිකොම්හි සහකාර කළමණාකරු (වෙබ් අඩවි නිර්මාණ) උවිඳු අනුරාධ මහතා විසින් සිදු කර ඇත.

මෙම නව පද්ධතිය හරහා නඩු ගොනු කිරීම වඩා ඵලදායි හා අඩු වියදම් සහිතව සිදු කළ හැකි අතර, ලිපි ද්‍රව්‍ය සඳහා වැය වන විදේශ විනිමය සහ පිරිවැය සැලකිය යුතු ලෙස ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, මෙම ක්‍රමවේදය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සියලු අධිකරණ වෙත ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.

මෙම අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් මනෝදි හේවාවසම් මහත්මිය, නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරුන් වන අභිමානි සෙනෙවිරත්න මහත්මිය සහ තරිඳු මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තොරතුරු තාක්ෂණ ඒකකය හා ශ්‍රී ලංකා ටෙලිකොම් නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Social Sharing
නවතම පුවත්