තිරසාර අනාගතයක් උදෙසා “ලිය දිරිය” ආණමඩුවෙන් ආරම්භ විය…

රයිට් ටූ ලයිෆ් “සන්ධාර” සමාජ ව්‍යවසායකත්ව ජාලය පුළුල් කිරීමේ අරමුණින් “ලිය දිරිය” ගෙවතු වගා සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන අද දින ආණමඩුව සහභාගීත්ව සංවර්ධන පදනම හා මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය එක්ව ආරම්භ කරනු ලැබීය.

Mother-Daughter Plant ආකෘතිය භාවිතා කරමින් තිරසාර ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමත්, ආදායම් උත්පාදන අවස්ථා තුළින් කාන්තාවන් සහ තරුණයින් බලමුළුගැන්වීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

මෙම වැඩසටහන සඳහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර, ප්‍රදේශය තුළ මේ වන විට සුළු පරිමාණයෙන් ගෙවතු වගාව සිදු කරන කාන්තාවන් විශාල සංඛ්‍යාවක්ද මෙම සමාජ ව්‍යවසායකත්ව ජාලයට එක්වීම විශේෂත්වයකි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් චතුරිකා දර්ශනී මහත්මිය පවසා සිටියේ “මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන හැම කාන්තාවකටම මාසෙකට අවම වශයෙන් රුපියල් 25,000 ක ස්ථාවර අතිරේක ආදායමක් සහතික කරන එක. හිතන්න, ඔබේ දරුවාගේ අධ්‍යාපනයට, ඔබේ නිවසේ වියදමට මේ මුදල කොයි තරම් ලොකු ශක්තියක් වෙයිද කියලා. ඔබ අතට මුදල් ලැබෙන කොට පවුල ඇතුළේ ඔබේ වටිනාකම වැඩි වෙනවා. ඔබ තීරණ ගන්නා සැබෑ ” ව්‍යවසායිකාවකගේ ” මට්ටමට පත් වෙනවා.

ඒ වගේම, මේ වගාව මගින් ඔබට ලැබෙන මානසික සහනය අති මහත්. අද කාලේ මිනිස්සු ඉන්නේ ලොකු පීඩනයකින් පරිසරයත් එක්ක, පැළෑටිත් එක්ක කාලය ගත කරන කොට ඔබේ මානසික සෞඛ්‍යය යහපත් වෙනවා. ඒ වගේම, තරුණ පරපුර, ඒ කියන්නේ අවුරුදු 15ත් 35ත් අතර තරුණ තරුණියන් මේ කෘෂිකාර්මික රැකියාවලට යොමු කිරීම හරහා රටේ රැකියා ප්‍රශ්නයටත් අපි විසඳුම් සොයනවා.”

මෙම “ලිය දිරිය” ගෙවතු වගා සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන, ප්‍රදේශීය කාන්තාවන්ගේ ආර්ථික ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම, තරුණයින්ට රැකියා අවස්ථා සපයා දීම සහ තිරසාර කෘෂිකර්ම ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.

 

 

Social Sharing
නවතම පුවත්