සේවාදායකයා නොමඟ යවා දේපළ අන්සතු කළා යැයි නීතිඥවරියට බරපතළ චෝදනා.

බදු ගිවිසුමක් සම්පාදනය කිරීමේ ව්‍යාජ අරමුණින් සේවාදායකයකු නොමඟ යවා, සද්භාවයෙන් තොරව ලබාගත් අත්සන් සහිත ශුන්‍ය ලේඛන වංචනික ලෙස පරිවර්තනය කර, දේපළක් උකස් බැඳුම්කරයකට යටත් කොට තෙවන පාර්ශවයකට අන්සතු කළ බව කියන ඇඹිලිපිටිය ප්‍රදේශයේ නීතිඥවරියකට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන මාර්තු 30 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ඇඹිලිපිටිය, මොරකැටිය පදිංචි ඒ.ඩ්බ් ආනන්ද සරත් කුමාර ආටිගල මහතා විසින් වන අතර, හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ පූර්ණ නෛතික මැදිහත්වීම මත මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

අදාළ නීතිඥවරිය විසින් පෙත්සම්කරුගෙන් සහ ඔහුගේ මිය ගිය මවගෙන් හිස් කොළවලට ලබාගත් අත්සන් උපයෝගී කරගනිමින් මෙම කූට ලේඛන සකස් කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. නීතිඥවරුන්ගේ වෘත්තීය ආචර්යධර්ම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත්, නීතිඥවරයෙකු සහ සේවාදායකයෙකු අතර පැවතිය යුතු පරම විශ්වාසනීය සම්බන්ධතාවය අමු අමුවේ කෙලෙසා ඇති බවත් වින්දිත පාර්ශවය අවධාරණය කරයි.

නීතිඥවරිය විසින් සිදුකළ බව කියන මෙම සාපරාධී විශ්වාසය කඩකිරීම (Criminal Breach of Trust) හේතුවෙන් තමන්ට සිදුව ඇති අතිමහත් අගතියට සාධාරණය ඉටුකර ගැනීම සහ වෘත්තීය විෂමාචාරය සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීම මෙම නඩුව මගින් අපේක්ෂා කෙරේ.
ගරු අගවිනිසුරුවරයාගේ විශේෂ අනුමැතිය සහ නියමය පරිදි මෙම නඩුව එළඹෙන 2026 මාර්තු මස 30 වන දින පෙරවරු 10.00 ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව ඇත. නීතියේ ආධිපත්‍යය සුරැකිය යුතු නීති වෘත්තිකයින්ම නීතිය අවභාවිතා කරමින් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම වැළැක්වීම සඳහා මෙම අධිකරණ ක්‍රියාදාමය සුවිශේෂී නෛතික පූර්වාදර්ශයක් වනු ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක කියා සිටීහ.

සටහන තරංග එල් පටබැඳිගේ

Social Sharing
නවතම පුවත්