
ආණමඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 60ක් වන මවක් තමන්ට උරුමයෙන් ලැබුණු ඉඩමට ප්‍රවේශ වීමට ඇති එකම මාර්ගය වසා දැමීම හේතුවෙන් බරපතළ අසාධාරණයකට ලක්ව සිටින බව වාර්තා වේ.
ධර්මපාලය, කැරකොප්පුව අසල ඉහළබැම්ම යාය ප්‍රදේශයේ පදිංචි ඒ.එච්.එම්. නන්දාවතී මහත්මියට අක්කර දෙකක බලපත්‍ර සහිත ඉඩමක් හිමිව තිබේ. එම ඉඩමට පිවිසීමට ඇති එකම මාර්ගය ඇගේ නැගණිය වන සුමනාවතී මහත්මියගේ නිවස අසලින් ගමන් කරන බව සඳහන් වේ.
නන්දාවතී මහත්මිය පවසන්නේ, නීත්‍යානුකූලව පවතින මෙම මාර්ගය භාවිතා කිරීමට හෝ එය පිළිසකර කිරීමට තම නැගණිය විසින් ඉඩ නොදී බාධා පමුණුවන බවයි. එමෙන්ම, රජයේ නිලධාරීන් කිහිප වරක්ම මැදිහත්වී මාර්ගය විවෘත කිරීමට උපදෙස් ලබා දී තිබුණද, ඒවා නොතකා කටයුතු කර ඇති බවටද චෝදනා කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් තමන්ගේම ඉඩමට පිවිසීමට නොහැකිව අසරණ තත්ත්වයකට පත්ව ඇති බව නන්දාවතී මහත්මිය වැඩිදුරටත් කියා සිටී.
නීතිවේදීන් පෙන්වා දෙන්නේ, ඉඩම් බලපත්‍ර කොන්දේසි අනුව පොදු මාර්ගයක් හෝ නීත්‍යානුකූල ප්‍රවේශයක් අවහිර කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වන බවයි. එවැනි අවස්ථාවලදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් හෝ අධිකරණ නියෝගයක් මගින් මාර්ගය විවෘත කර ගැනීමට හැකියාව පවතින බවද ඔවුන් සඳහන් කරයි.
එමෙන්ම, තම දේපළ භාවිතා කිරීමේ අයිතිය සහ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීම රජය සහ නීති පද්ධතියේ වගකීමක් බවද අවධාරණය කෙරේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ආණමඩුව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයද බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර, පීඩිත මවට යුක්තිය ඉටු කිරීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජනතාවද ඉල්ලා සිටී.
