
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් බව අප පිළිගනිමු. නමුත්, ත්‍රස්තවාදයෙන් රජය ආරක්ෂා කිරීම සඳහා පනත් කෙටුම්පත (PSTA) යටතේ යෝජිත ඇතැම් ප්‍රතිපාදන, මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදී අගයන් සම්බන්ධයෙන් බරපතළ ගැටළු උද්ගත කරයි.
මෙම පනත් කෙටුම්පත මඟින් ආරක්ෂක අංශවලට ලබා දෙන පුළුල් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමේ බලතල, පුද්ගලයන් අධිකරණ අධීක්ෂණයකින් තොරව දිගු කාලයක් රඳවා තබා ගැනීමට ඉඩ සැලසිය හැකි බවක් පෙනේ. මෙය පුද්ගලික නිදහස, සාධාරණ නඩු විභාගයකට හිමිකම, සහ නීතියේ පාලනය යන මූලික සංකල්පයන්ට බාධා කළ හැක.
එසේම, “ත්‍රස්තවාදය” යන සංකල්පය පුළුල් ලෙස අර්ථ දැක්වීමෙන්, සාමකාමී විරෝධතා, දේශපාලන විරුද්ධ අදහස්, මාධ්‍ය කටයුතු හෝ සිවිල් සමාජ ක්‍රියාකාරකම් ද , “ත්‍රස්තවාදී” කටයුතු වීමේ අවදානමක් පවතී. මෙය ප්රකාශනයේ නිදහස, එක්රැස් වීමේ අයිතිය, සහ සංවිධානය වීමේ නිදහස සීමා කිරීමට හේතු විය හැක.
අත්අඩංගුවේ සහ රඳවා තබා ගැනීමේ කාලය තුළ වධදීම ඇතුළු අනෙකුත් කෘෘර හා අමානුෂීය ක්‍රියාවන් සිදුවීමේ අවදානම ද නොතකා හැරිය නොහැක. එවැනි අවදානම් අවම කිරීම සඳහා, ස්වාධීන අධීක්ෂණය, අධිකරණ පරීක්ෂණය, සහ වගකීම් යාන්ත්‍රණ පැහැදිලිව සහ ප්‍රභල ලෙස පනත තුළ ඇතුළත් විය යුතුය.
එමෙන්ම, ICCPR ඇතුළු ශ්‍රී ලංකාව බැඳී සිටින ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් සමඟ, මෙම පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ගැළපේද යන්න පිළිබඳ බරපතළ සැකයන් පවතී. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, මානව හිමිකම් අහෝසි කිරීමක් නොව, ඒවා සුරක්ෂිත කර ගැනීමක් විය යුතුය.
ඒ අනුව, අපගේ ස්ථාවරය වන්නේ PSTA පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් නැවත සමාලෝචනය කර,
• අධික බලතල සීමා කිරීම,
• අධිකරණ අධීක්ෂණය ශක්තිමත් කිරීම,
• මානව හිමිකම් සුරක්ෂිත කෙරෙන පැහැදිලි ආරක්ෂණයන් ඇතුළත් කිරීම, සහ
• ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල කිරීම අත්‍යවශ්‍ය බවයි.
ජාතික ආරක්ෂාව සහ මානව හිමිකම් එකිනෙකට විරුද්ධ නොව, එකට පවත්වාගෙන යා යුතු අගයන් බව අප අවධාරණය කරමු.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
