
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීමට වගකිව යුතු ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂක රාමනායක සිය පෞද්ගලික මුදලින් රුපියල් 30,000ක වන්දියක් සහ රජය විසින් රුපියල් 20,000ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කළේය.
මෙම තීන්දුව ලබා දී ඇත්තේ අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සෝභිත රාජකරුණා සඳහන් කළේ 2019 මැයි 05 වනදා අත්තිඩිය ප්‍රදේශයේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කර ඇති බවයි.
පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දී ඇත්තේ PTA යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එයට හේතු වූ කරුණු අදාළ සැකකරුට දැනුම් දිය යුතු වුවත්, තමන් අත්අඩංගුවට ගැනීමේදී එවැනි හේතු කිසිවක් පොලිසිය විසින් දැනුම් නොදුන් බවයි.
වගඋත්තරකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව ISIS මතවාදය අනුගමනය කරන පුද්ගලයන්ගේ ලැයිස්තුවක පෙත්සම්කරුගේ නම 84 වන ස්ථානයේ තිබූ බව සඳහන් කළද, ඔහු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු පැවති බව අධිකරණය හමුවේ තහවුරු කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බව විනිසුරු මඩුල්ල නිරීක්ෂණය කර ඇත.
එමෙන්ම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේදී නිකුත් කර තිබූ රිසිට් පතේ පාස්කු ප්‍රහාරය හෝ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම සම්බන්ධ සිද්ධීන් පිළිබඳව කිසිදු සඳහනක් නොතිබූ බවද අධිකරණය අවධාරණය කර තිබේ.
ඒ අනුව පෙත්සම්කරු අපරාධයකට සම්බන්ධ බවට සාධාරණ සැකයක් තහවුරු කළ හැකි තොරතුරු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බවට අධිකරණය තීරණය කර ඇත.
