ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත ගෙන ඒමට රජය සූදානම්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව, විශේෂයෙන් කාන්තාවන් මුහුණ දෙන බරපතළ සමාජ ආර්ථික ගැටලුවක් බවට පත්ව ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා නව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත හඳුන්වා දීමට රජය පියවර ගනිමින් සිටී.

අධික පොළී අනුපාත යටතේ ලබා දෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ණය බරින් පීඩාවට පත්වීම, සතිපතා හෝ මාස්පතා ගෙවීම් කළ නොහැකිව දැඩි ආර්ථික සහ මානසික පීඩාවන්ට ලක්වීම සහ ඇතැම් අවස්ථාවල සියදිවි නසාගැනීම් වාර්තා වීමත් දක්නට ලැබේ.

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත වෙනුවට නව නියාමන රාමුවක් හඳුන්වා දීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පත 2023 ඔක්තෝබර් 09 දින කැබිනට් අනුමැතිය ලබා ගත් අතර, එය රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේද අභියෝගයට ලක් වූ අතර පාර්ලිමේන්තුවේ ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවටද යොමු කර තිබිණි. පසුව විවිධ පාර්ශ්වයන්ගේ යෝජනා සහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව සංශෝධන ඇතුළත් කරමින් අවසන් වාර්තාවක් සකස් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් අධික පොළී අනුපාත, නීති විරෝධී තැන්පතු භාරගැනීම් සහ අසාධාරණ ණය අයකිරීම් වැනි ක්‍රියාකාරකම් සිදු විය හැකි බවයි.

එවැනි ක්‍රියාකාරකම් අඩු ආදායම්ලාභී ජනතාව තවදුරටත් දරිද්‍රතා චක්‍රය තුළ රඳවා තබාගෙන මූල්‍ය පද්ධති ස්ථායීතාවයටද තර්ජනයක් වන බව මහ බැංකුව අවධාරණය කරයි.

එමෙන්ම විශේෂඥයින් පෙන්වා දෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නිසි නියාමනයකට යටත් කිරීම මගින් අධික පොළී සහ අසාධාරණ ණය ක්‍රමයන් වැළැක්වීමත්, අඩු ආදායම්ලාභී ජනතාවගේ මූල්‍ය ආරක්ෂාව සහ විශ්වාසය තහවුරු කිරීමත් හැකි වන බවයි.

මේ අනුව, පාරිභෝගික විශ්වාසය බිඳවැටීම තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් නීති පනතේ (422 වන අධිකාරය) දක්වා ඇති අරමුණක් වන මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වාගැනීම කෙරෙහි අහිතකර අයුරින් බලපාන බැවින් ශ්‍රී ලංකාව තුළ ඉහත කී නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නිරත වන ආයතන නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබෙන බව මහ බැංකුව පවසයි.

එමෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නිසි නියාමනයකට යටත් කිරීම මගින් අධික පොළී සහ අසාධාරණ ණය ක්‍රමයන් වැළැක්වීමත්, අඩු ආදායම්ලාභී ජනතාවගේ මූල්‍ය ආරක්ෂාව සහ විශ්වාසය තහවුරු කිරීමත් හැකි වන බවයි.

 

Social Sharing
නවතම පුවත්