ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්.ප්‍රේමතිලකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග ක‍ර ඇති බවට වාර්තා වේ.

ඒ 2024 වසරේ පැවැති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙනි.

අදාළ ප්‍රශ්න කළින් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විභාගය සඳහා පෙනීසිටි සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් 2024 වසරේ දෙසැම්බර් මස 31 වනදා තීන්දුවක් ප්‍රකාශයට පත්කළේය.

එම තීන්දුවට අනුව අදාළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අයි.ජී.එස්.ප්‍රේමතිලකට රුපියල් මිලියන තුනක මුදලක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු බවත් අදාළ මුදල මෙම තීන්දුව නිකුත් කළ දින සිට සති හතරක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

එහෙත් වගඋත්තරකර ප්‍රේමතිලක එම නියෝගය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත්, ඒ අනුව ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් විය.

එම ඉල්ලීම කැඳවුයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, අදාළ වගඋත්තරකරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ක්‍රියාකර නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකාර ප්‍රේමතිලක එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා පත්‍රයක් ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියෝග ක‍ළේය.

ඊට අමතරව අදාළ වගඋත්තරකරුට මාර්තු මස 26 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් නියෝග ක‍ළේය.

Social Sharing
අවකාශය පුවත්