අස්වැසුම ප්‍රතිලාභීන් 16,800ට තවමත් බැංකු ගිණුම් නෑ.

 

අස්වැසුම පළමු අදියරය සහ දෙවන අදියරය යටතේ සුබසාධන ප්‍රතිලාභ ලබා දීම මේ වනවිටත් අඛන්ඩව සිදුකරගෙන යන අතර සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කරන පරිදි  ප්‍රතිලාභීන් 16,800කට අධික පිරිසකට මේ වනතුරුත් බැංකු ගිණුම් නොමැති බවයි.

එකී නිලධාරීන් පෙන්වාදෙන අන්දමට මෙලෙස බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන් බහුලව වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය 2700ට අධික ප්‍රමාණයක් බවයි. එමෙන්ම දෙවැනියට බැංකු ගිණුමක් නොමැති ප්‍රතිලාභීන් බහුලව වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව ඔවුන් සඳහන් කර සිටියි.

මෙහිදී ප්‍රතිලාභ කාණ්ඩ වශයෙන් ගත්කළ, දිළිඳු කාණ්ඩයේ සිටින ප්‍රතිලාභීන් 8,900කට අධික ප්‍රමාණයකටත්, අන්ත දිළිඳු කාණ්ඩයේ ප්‍රතිලාභීන් 4,400කටත් අවදානමකට ලක් විය හැකි කාණ්ඩයේ ප්‍රතිලාභීන් 4300කට අධික පිරිසකටත් බැංකු ගිණුම් නොමැති බව එම නිලධාරීන් සඳහන් කර සිටියි.

මෙම ගැටළුව සඳහා හේතුව වශයෙන් සුබසාධන මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ බහුතරයක් ප්‍රතිලාභීන්ට ජාතික හැඳුනුම්පත නොමැතිකම නිසා බැංකු ගිණුමක් විවෘත කරගැනීමට අපොහොසත්ව සිටින බවයි. තවද එම නිලධාරීන් සඳහන් කර සිටින්නේ බහුතරයක් ප්‍රතිලාභීන් හැඳුනුම්පත සකස් කර ගැනීමට උනන්දුවක් නොදක්වන බවත් ඇතැම් අයට හැඳුනුම්පත සකස් කර ගැනීමට අවශ්‍යවන ලේඛන ඔවුන් සතු නොවන බවයි.

Social Sharing
නවතම පුවත්