
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදෙමින් නිකුත් කර තිබූ ලිපිය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (10) දින අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.
එම කරුණ දැනුම් දුන්නේ, එම ලිපිය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබාදෙමින් නිකුත් කළ ලිපිය බලරහිත කරන ලෙස ඉල්ලා, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම පෙත්සම අධිකරණයට ගොනු කර තිබුණි.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සහ ඊක්වල් ග්‍රවුන්ඩ් නම් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා නම් කර තිබේ.
පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවට පාදක වූ ප්‍රශ්නගත ලිපිය ඉවත් කරගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා 2026 පෙබරවාරි 02 වැනිදා ලිපියකින් දැනුම් දී ඇති බව පැවසීය. ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය මේ වන විටත් ලබාදී ඇති බව ද රජයේ නීතිඥවරිය පෙන්වා දුන්නාය.
කෙසේ වෙතත්, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා එම කරුණු සම්බන්ධයෙන් එකඟතාවය පළ නොකරමින්, ලිපිය පමණක් ඉවත් කර ගැනීම ප්‍රමාණවත් නොවන බව අධිකරණයට පෙන්වා දුන්නේය. සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සභාපතිවරයා ගෙන තිබූ “තීරණය” ඉවත් කරගන්නා බවට කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
මෙම නඩුව ගොනු කර ඇත්තේ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන තිබූ එම තීරණය සම්පූර්ණයෙන්ම බලරහිත කර ගැනීමේ අරමුණින් බවද නීතිඥවරයා අධිකරණයට පැවසීය.
ඊට ප්‍රතිචාර ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා රජයේ නීතිඥවරියට උපදෙස් ලබාදී ඇත්තේ, මෙම කරුණ සම්බන්ධයෙන් වගඋත්තරකරුගේ නිශ්චිත ස්ථාවරය විමසා මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසයි.
ඒ අනුව මෙම පෙත්සම යළි මාර්තු මස 04 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර ඇත.
