
ඉකුත් නොවැම්බර් මස මෙරට මුහුන දුන් දිට්වා සුළි කුණාටුව හමුවේ පීඩාවට පත් වූ මෙරට ජනතාවට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානුෂීය ප්‍රමුඛතා සැලැස්මක් (HPP) ආරම්භ කෙරිණි. මේවන විට ඒ සඳහා රුපියල් මිලියන 6720ක් (ඇමරිකානු ඩොලර් මිලියන 22.4) ලැබී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධනය සඳහන් කරයි.
පසුගිය දෙසැම්බර් 11 වනදා ඇමරිකානු ඩොලර් මිලියන 35.3ක අරමුදලක් ස්ථාපිත කිරීම කොළඹින් ආරම්භ කළ අතර මෙරට අතිශය අවදානමට ලක්වූ පුද්ගලයන් 658,000කට සහාය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP) ප්‍රකාශයට පත් කෙරිණි. පසුගිය 06 වැනිදා වන විට එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 22.4ක් ලැබී ඇති බවට වාර්තා වේ.
මේ සහන වැඩපිළිවෙළ ඔස්සේ දිස්ත්‍රික්ක 25ක් පුරා විසිරී සිටින පුද්ගලයන් 216,000කට වැඩි පිරිසකට මේ වන විටත් සහන සලසා ඇති බව ද, එලෙස සහන ලැබූ පිරිසෙන් 50% කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. තවද ආබාධිත පුද්ගලයන් 4500ක් ද ඒ අතර වන බව පෙන්වා දෙන එම සංවිධානය රාජ්‍ය නොවන සංවිධාන (NGOs) 44ක් සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (INGOs) 10ක් ඇතුළුව හවුල්කාර සංවිධාන 68ක් මේ සහන මෙහෙයුම් සඳහා දායකත්වය දී තිබෙන බව ද ඔවුන් සඳහන් කර සිටියි.
පීඩාවට පත් වූ පුද්ගලයන් 165,000කට වැඩි පිරිසක් තවමත් අවතැන්ව හෝ සිය ඥාතීන්ගේ නිවෙස්වල වාසය කරන අතර, දැනට ක්‍රියාත්මක වන ආරක්ෂිත මධ්‍යස්ථාන 85ක පුද්ගලයන් 6,680ක් පමණ රැඳී සිටින බව ද වාර්තා වේ. මෙම කුණාටුව හේතුවෙන් පාසල් 1,682කට හානි සිදුවී ඇති අතර, එයින් දරුවන් 823,000කට පමණ බලපෑම් එල්ල වී ඇති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
අවතැන් වූ පසුබිම් තුළ කාන්තාවන් සහ දරුවන් ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව හඳුනාගෙන ඇති අතර, සමාජයීය අපකීර්තිය හේතුවෙන් එවැනි ප්රචණ්ඩ ක්‍රියා වාර්තාවීම අවම මට්ටමක පවතී. ඒ පිළිබඳ දැනුවත් කිරීම සහ වැළැක්වීම සඳහා කොළඹදී පුහුණු වැඩමුළු පවත්වා ඇති බව ද, ඉදිරියේදී මේ පුහුණු වැඩසටහන් සිංහල සහ දෙමළ භාෂාවලින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කරයි. සෞඛ්‍ය, කෘෂි කර්මාන්තය, මුල්කාලීන යථා තත්ත්වයට පත් කිරීම්, පෝෂණය සහ අධ්‍යාපනය ක්ෂේත්‍ර සඳහා තවමත් වැඩිදුර අරමුදල් සහ සහාය අවශ්‍යව පවතින බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
