
ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල මේ වන විට නඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවරා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
1998 අංක 28 දරන අපරාධ නඩු විධිවිධාන සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට අනුව, දිවයින පුරා මහාධිකරණවල නඩු 4,289ක් පවතින බවද එම අධිකාරිය සඳහන් කරයි.
එම නඩු අතරින් නඩු 1,683ක් ජනවාරි මාසය තුළ කැඳවා තිබෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙයි.
ළමුන්ට අදාළව සිදුකරන අසභ්‍ය පළ කිරීම්, කුට්ටනයට ලක් කිරීම, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුලියට ගැනීම හෝ සේවයේ යෙදවීම, කෲරත්වයට භාජනය කිරීම, ස්ත්‍රී දූෂණය සහ බරපතළ ලිංගික අපයෝජනය යන වැරදි සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණවල අදාළ අධි චෝදනා ගොනු කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.
ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම, විමර්ශන කඩිනම් කිරීම සහ නඩු කටයුතු වේගවත් කිරීම අත්‍යවශ්‍ය බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධාරණය කරයි.
