
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ චූදිත හමුදා බුද්ධි නිලධාරියෙකුට උසස්වීම් ලබාදීමට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් තමන්ට මරණීය තර්ජන එල්ල වන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසයි. ඇය මේ බව ඊයේ (05) දින පැවැත්වූ විශේෂ ප්රවෘත්ති සාකාච්ඡාවක් කැඳවා අනාවරණය කර ඇත.
එහිදී ඇය සඳහන් කර සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ චූදිතයෙකු වන එරන්ත රදීස් පීරිස් නමැති හමුදා බුද්ධි නිලධාරියාට බ්‍රිගේඩියර් තනතුරට උසස්වීම් ලබාදීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව විරෝධය පළ කළ බවත් ඒ අනුව, එම උසස්වීම අත්හිටුවීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවත් ය. ඒ අනුව ජනවාරි 16 වැනිදා තමන්ට ලැබුණු දුරකථන ඇමතුමකින් මිනී පෙට්ටියේ දිග සහ පළල විමසමින් මරණීය තර්ජන එල්ල කළ බව ඇය හෙළි කළාය.
“දිග පළල දෙන්න කියලා මගෙන් ඇහුවා. මොකේ දිග පළලද ඇහුවම කිව්වේ උඹේ මිනී පෙට්ටියේ දිග පළල දෙන්න කියලා. උඹේ මිනිහත් පිම්බුනානේ, උඹත් පිම්බෙන්න එපා කියලා තර්ජනය කළා,” යනුවෙන් ඇය එම තර්ජනාත්මක හඬපටය මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පැවසුවාය.
මෙම මරණීය තර්ජනය සම්බන්ධයෙන් ජනවාරි 17 වැනිදා වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාසයට පැමිණිල්ලක් ගොනු කළ බවත්, ජනවාරි 19 වැනිදා ජනාධිපතිවරයා වෙතද ලිඛිතව දැනුම් දුන් බවත් ඇය සඳහන් කළාය. එහෙත් මේ දක්වා ජනාධිපතිවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් හෝ හමුවීමට අවස්ථාවක් නොලැබුණු බවද ඇය එහිදී පෙන්වා දී ඇත.
අධිකරණයේ අපරාධ නඩුවක් විභාග වෙමින් පවතින පසුබිමක, එහි චූදිතයන් විසින් වින්දිතයන්ට මෙලෙස තර්ජනය කිරීම රටේ නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණ පද්ධතියට කරන බරපතල අපහාසයක් බව ඇය අවධාරණය කළාය.
දුරකථන හඬපටයට අනුව “නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ” යන තත්ත්වයකට දේවල් යමින් පවතින බව පෙන්වා දුන් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, වසර 16ක් තිස්සේ ඇදෙමින් පවතින මෙම නඩුව අවම වශයෙන් සතියකට දින තුනක්වත් විභාග කර මෙම වසර අවසන් වීමට පෙර තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.
තම ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගන්නා තත්ත්වයක් තුළ, මෙරට විදේශ තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන ලිඛිතව දැනුවත් කර ඇති බවද ඇය සඳහන් කළාය.
“මගේ දරුවන්ට තාත්තව අහිමි කළා. හෙට දවසේ මේ අපරාධකාරයින්ට මගේ දරුවන්ට අම්මවත් අහිමි කරන තැනට වැඩ සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා,” යනුවෙන් ඇය අවසානයේ ඉල්ලා සිටියාය.
