බළපිටිය මූලික රෝහලේ සේවය කරන හෙද නිලධාරීන් කිහිපදෙනෙකුට විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙස මීටියාගොඩ පොලීසිය විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අදාළ පොලිස් පණිවුඩවල තමන්ව කැඳවීමට හේතුව නිශ්චිතව සඳහන් කර නොතිබීම හේතුවෙන් එම හෙද නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සඳහන් වේ.
පසුව සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ, අදාළ හෙද නිලධාරීන් සේවය කළ වාට්ටුවට වෙඩි වැදී ඇතුළත් කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි.
මෙවැනි අවස්ථාවලදී පුද්ගලයෙකු විමර්ශනයක් සඳහා පොලීසියට කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පිළිබඳව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෑතකදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
SFR 266/2023 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට අනුව, 2025 අගෝස්තු 02 දිනැතිව ආර්ටීඑම් 101 සහ ඕආර්ටීඑම් 61 අංක යටතේ මෙම උපදෙස් නිකුත් කර ඇති අතර, “විමර්ශන කටයුතු සඳහා තැනැත්තන් පොලිස් ස්ථානවලට කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග” යන මැයෙන් නිකුත් කළ එම චක්‍රලේඛයේ, යම් පුද්ගලයෙකු සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීමේදී ඒ සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳව ප්‍රමාණවත් දැනුවත් කිරීමක් අදාළ පුද්ගලයා වෙත කළ යුතු බව පැහැදිලිව සඳහන් කර ඇත.
එවන් නියෝග පනවා මාස කිහිපයක් ගතවීමටත් මත්තෙන්, මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් එම උපදෙස් සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
උසස් පොලිස් නිලධාරීන්ගේ සහ අධිකරණයේ නියෝග මෙලෙස නොසලකා හැර, බුද්ධිමත් වෘත්තිකයන් වන හෙද නිලධාරීන් විෂයෙහි මෙවැනි ක්‍රියාමාර්ග ගනු ලැබීම බරපතල ගැටලුවක් බවත්, මේ සම්බන්ධයෙන් වහාම නිසි පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් විවිධ පාර්ශව අවධාරණය කරයි.

