
උතුර සහ නැගෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් තිස්සේ පවතින දුක්ගැනවිලි, අසාධාරණයන් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජනතාව සඳහා ‘කළු දිනයක්’ ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා ඊයේ (04) කිලිනොච්චියේ විශාල විරෝධතා රැලියක් පැවැත්විණි.
කිලිනොච්චියේ කන්දස්වාමි කෝවිල පරිශ්‍රයෙන් ආරම්භ වූ මෙම පාගමන, සිවිල් සංවිධාන එකතුවක් විසින් කළු දින ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව ඩිපෝ හන්දිය දක්වා ගමන් කළේය.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, බලහත්කාරයෙන් අතුරුදහන් කළ පුද්ගලයන්ගේ පවුල්වලට යුක්තිය ඉටුකිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීම යන ඉල්ලීම් රැලියේ ප්‍රධාන කරුණු වූ අතර තවද උතුර සහ නැගෙනහිර දෙමළ නිජබිම් සංකල්පය ආරක්ෂා කරගැනීම ද විරෝධතාකරුවන් අවධාරණය කළහ.
උතුර සහ නැගෙනහිර සිවිල් සමාජ කණ්ඩායම්, අතුරුදහන් වූ අයගේ පවුල් නියෝජනය කරන සංගම් සහ තවත් දෙමළ සිවිල් සංවිධාන එක්ව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
ඊට සහභාගිවූවෝ, “උතුර නැගෙනහිර දෙමළ නිජබිමයි”, “අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිමු” සහ “ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ ජනතාවට කළු දිනයක්” ඇතුළු පුවරු රැගෙන සටන් පාඨ කියමින් සිටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එස්. ශ්‍රීධරන් සහ දුරෙයි රවීන්ද්‍රන් ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු මෙන්ම හිටපු මන්ත්‍රීවරු, දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන්, අතුරුදහන්වූවන්ගේ පවුල් සහ දෙමළ ජාතිකවාදී කණ්ඩායම් රැසක් මෙම රැලියට සහභාගී වී සිටියහ.
