
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතුවෙන් ධනවතුන්ට, ව්‍යාපාරිකයන්ට හා අයුතු ලෙස මුදල් උපයන පුද්ගලයන්ට සහ ධනවත් දේශපාලන පක්ෂවලට පමණක් දේශපාලනය සීමා වනු ඇතැයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි
විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කිරීමට පියවර ගැනීමෙන් අවංක සමාජ සේවකයන්ටද දේශපාලන ක්ෂේත්රයට ඉදිරිපත් විය නොහැකි වනු ඇති බවත් සිය කාලය හා ශ්‍රමය යොමු කරන මහජන නියෝජිතයකුට සැනසීමේ ජීවත්වීමට යම්කිසි පහසුකමක් සැලකීම ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන පාර්ලිමේන්තු සම්ප්රදායක් බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. වරප්‍රසාද අහෝසි කිරීමට වත්මන් රජයට මහජන වරමක්ද ලැබී ඇති බව පිළිගන්නා බවත්, එහෙත් රටේ ප්‍රධාන පුරවැසියා වන රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එම කරුණ පිළිබඳව සානුකම්පිතව සලකා බැලිය හැකි බවට විශ්වාස බවද කරු ජයසූරිය මහතා පවසයි.
ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ, අප නිදහස ලබන විට ඉඩම් හිමි, උගත්, ධනවත් ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා වූ බවත් එහෙත් 1956න් පසු සාමාන්‍ය පොදු මිනිසාට දේශපාලනයට ඉඩ ලැබුණු අතර ඒ මඟින් විශාල සමාජ විපර්යාසයක් ඇති වූ බවයි.
‘දිට්වා’ ව්‍යසනයෙන් පසු දේශය ගොඩනැඟීමට හා ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා විශාල කැපවීමකින් ක්‍රියා කරන අවස්ථාවක වෙනත් කරුණක් කෙරෙහි අවධානය යොමුකිරීමට සිදුවීම ගැන කනගාටු වෙන බවත්, එහෙත් හිටපු මැති ඇමැතිවරුන් හා ඔවුන් අතරින් ඇතැමකුගේ වැන්දඹුවන් ආදි පන්සියයකට ආසන්න කණ්ඩායමක් වෙනුවෙන් මේ ඉල්ලීම කරනුයේ දැඩි මානුෂීය හැඟීමෙන් බවත් සදහන් කරයි. හිටපු මැති ඇමැතිවරුන් කෙරෙහි දැඩි මහජන අප්‍රසාදයක් පසුගිය වකවානුවේ ගොඩනැඟී තිබූ බවත්, සෑම මන්ත්‍රීවරයකුම වංචාකාරයකු, දූෂිතයකු ලෙස හංවඩු ගැසී තිබූ බවත්, සමස්තයක් ලෙස සලකා බලන කල්හි එය සාධාරණ නොවන බව අපගේ හැඟීම බවත් ඔහු පවසයි. ජයසූරිය මහතා පවසන්නේ, හිටපු මහජන නියෝජිතයන් අතර වමේ ගෞරවනීය දේශපාලන නායකයන් සහ 30කට ආසන්න හිටපු ජවිපෙ මන්ත්‍රීවරුන් මෙන්ම දේශපාලනයෙන් තම දේපළ නැති කරගත් අවංක මහජන නියෝජිතයන් රාශියක් ද සිටින බවත් ඔහු පවසයි.
එහෙයින් මේ පනත ක්‍රියාත්මක කිරීමට පෙර සර්වපාක්ෂික නියෝජිත පිරිසක් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර මානුෂිකව මේ ප්රශ්නය කෙරෙහි අවධානය යොමු කර විසඳුමක් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
