
අදටත් ජනප්‍රිය Friends නම් සිටුවේෂනල් කොමඩි (situational comedy) හෙවත් සිට් කොම් එක (sit-com) රූපගත කරන ලද්දේ සජීවී ප්‍රේක්ෂකාගාරයක් හෙවත් ලයිව් ඕඩියන්ස් එකක් ඉදිරිපිටය.
එවිට නළු නිළියන්ගේ රංගනයන් ඉදිරියේ ප්‍රේක්ෂකයන්ගේ සිනහ හඬ සහ අත්පොළසන් හඬ ඇතුළු සජීවී ප්‍රතිචාර එවෙලේම පටිගත කරගෙන හඬ පටයට හෙවත් ඕඩියෝ පටයට එකතු කර ගනු ලැබේ. මෙය වියදම් අධික ක්‍රියාවලියක් බැවින් පසු කාලීනව සිට්-කොම් නිර්මාණය කිරීමේදී සජීවී ප්‍රේක්ෂකාගාරය නොමැතිව හුදෙකලාව රංගනය රූපගත කර ගැනීම ආරම්භ විය.
සජීවී ප්‍රේක්ෂකාගාරය සිනහ විය යුතු සහ අත්පොළසන් දිය යුතු ස්ථානවලට කලින් ‘නිෂ්පාදනය කොට’ පටිගත කරන ලද සිනහව ඇතුළු කරන ලදී. මෙම සිනහව canned laughter හෙවත් ටින් ගත කරන ලද සිනහව ලෙස හඳුන්වන ලද්දේ canned fish හෙවත් ටින් මාළු යන යෙදුම ආශ්‍රයෙනි. එනම්, සිනහව ටින් ගත කර අවශ්‍ය වෙලාවට මුදා හැරීම සිදුවෙයි.
සිට්-කොම් එක නරඹන ප්‍රේක්ෂකයන් සිතන්නේ සැබෑ ප්‍රේක්ෂකාගාරයක් සිනහ වෙමින් ප්‍රතිචාර දක්වන බවයි. සාමාන්‍යයෙන් උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් සඳහා ස්වේච්ඡානෙන් ජනතාව සහභාගි වෙතැයි අපේක්ෂා කෙරේ. නමුත්, සමහර අවස්ථා සඳහා එසේ ඓන්ද්‍රීය ලෙස ජනයා සහභාගි නොවන විට නරඹන්නන් උදෙසා ජනතාව ප්‍රදර්ශනය කළ යුතු වෙයි.
එසේ ඓන්ද්‍රීය ලෙස ජනයා සහභාගි නොවන අවස්ථාවල දී, ‘සෙනග පෙන්වීම’ සඳහා දේශපාලන පක්ෂ, ව්‍යාපාරික ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් කරනු ලබන උපක්‍රමයක් වන්නේ බස් රථ මගින් එම ස්ථානයට සංවිධානාත්මකව සෙනග ගෙන ඒමයි. මේ ආකාරයෙන් සංවිධානාත්මකව ජනතාව උද්ඝෝෂණ සහ රැස්වීම් සඳහා සහභාගි කරවීමේ ආකෘතිය හඳුන්වා දීම පිණිස 1990 දශකයේදී X කණ්ඩායම විසින් ලංතාවට ‘ටින් ජනතාව’ යන යෙදුම හඳුන්වා දෙන ලද්දේ ඉහත දැක්වෙන ‘ටින් ගත කරන ලද සිනහව’ උපමා කර ගනිමිනි.
සටහන සුදර්ශන ගුණවර්ධන
