
ගරු නීතිපතිවරයා ඉලක්ක කර ගනිමින් මෑතකදී දියත් වූ සමාජ මාධ්‍ය ප්‍රචාරණ සහ නීතිපතිවරයාගේ ධුරයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සාහයන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය බලවත් කනස්සල්ල පළ කර සිටී.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව 2026 ජනවාරි 20 දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරන්නේ, අපරාධමය කාරණා සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉටු කරනු ලබන්නේ ‘ක්වාසි අධිකරණමය’ (Quasi-judicial) හෙවත් අර්ධ අධිකරණමය කාර්යභාරයක් බවයි. එබැවින් ජනප්‍රිය මතවාද මත නොව, සාක්ෂි සහ නීතිය මත පදනම්ව තීරණ ගැනීමේ අයිතිය නීතිපතිවරයා සතු බව එම සංගමය පෙන්වා දෙයි.
ජනප්‍රිය මතය සහ නීතිමය යථාර්ථය
විමර්ශන අධිකාරීන් විසින් ඉදිරිපත් කරන සාක්ෂි මත පදනම්ව, සැකකරුවෙකුට එරෙහිව නඩු පැවරීම හෝ නොපැවරීම තීරණය කිරීමේදී නීතිපතිවරයා විසින් අදාළ කරුණු නීතිය හමුවේ පිළිගත හැකිද යන්න සහ වරදකරුවකු කිරීමට ඇති සාධාරණ විභවතාව පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
විනිශ්චයකාරවරුන් සහ අර්ධ අධිකරණමය නිලධාරීන් නීතියට අනුකූලව ගන්නා තීරණ, ඇතැම් අවස්ථාවලදී “ජනප්‍රිය මතය” නිරූපණය නොකළ හැකි බව මහජනතාව අවබෝධ කර ගත යුතු බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
පුරවැසි අයිතිය සහ වික්ටර් අයිවන් නඩු තීන්දුව
පුරවැසියන්ගේ විවේචනය කිරීමේ අයිතිය පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සංගමය පවසන්නේ, නීතිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ තීරණ විවේචනය කිරීමට පුරවැසියන්ට අයිතියක් ඇති නමුත්, එය එම ධුරයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් නොවන ආකාරයෙන් සිදුවිය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් 1998 වසරේ ප්‍රකාශිත වික්ටර් අයිවන් එදිරිව සරත් එන්. සිල්වා නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු මහතා කළ නිරීක්ෂණයක්ද නීතිඥ සංගමය විසින් උපුටා දක්වා ඇත:
“පුරවැසියෙකු විසින් හෝ පුරවැසියෙකුට එරෙහිව සිදු කෙරෙන අපරාධ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාධාරණ, කාර්යක්ෂම, කාලෝචිත සහ යෝග්‍ය ආකාරයේ විධිමත් විමර්ශනයක් ලබා ගැනීමට පුරවැසියෙකුට හිමිකමක් ඇත. අපරාධ නීතිය පවතින්නේ පුරවැසි පුද්ගල අයිතිවාසිකම්, දේපළ සහ කීර්ති නාමය ආරක්ෂා කිරීම උදෙසා වන අතර, නිසි විමර්ශනයක් නොමැති වීම මගින් පුරවැසියාට නීතියේ රැකවරණය අහිමි වනු ඇත.”
රජයට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පණිවිඩයක්
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හුදු පාක්ෂික අරමුණු ඉටු කර ගැනීම සඳහා එල්ල වන අසාධාරණ බලපෑම්වලට ලක් නොවිය යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි. එසේම, නීතිපතිවරයාගේ තීරණ අභියෝගයට ලක් කිරීමට අවශ්‍ය නම්, අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥාවක් මගින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ඊට අවස්ථාව පවතින බවද ඔවුන් සිහිපත් කර දෙයි.
නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා නීතිපතිවරයාගේ ධුරයේ ස්වාධීනත්වය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට වහාම මැදිහත් වන ලෙස මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් දැඩිව ඉල්ලා සිටියි.
