පොලීසියට පැමිණිල්ල දැම්මාට වැඩක් වුනේ නැද්ද?

පොලිසියට පැමිණිල්ලක් දැමූ පමණින් සියල්ල සම්පූර්ණ නොවේ; එය නිසි පරිදි විභාග වීම අත්‍යවශ්‍ය වේ. පොලිසිය ඔබේ පැමිණිල්ල විභාග කිරීම ප්‍රමාද කරන්නේ නම් ඊට එරෙහිව ගත හැකි නවතම ක්‍රියාමාර්ග සහ නීතිමය වශයෙන් වලංගු වන ලෙස “සාර්ථක පැමිණිල්ලක්” ගොනු කරන්නේ කෙසේද යන්න බලමු.

වත්මන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදු කරමින් පවතින විප්ලවීය වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස, පැමිණිලි විභාග කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉතා දැඩි සහ පැහැදිලි නියෝග මාලාවක් නිකුත් කර තිබේ. පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති විශාල පැමිණිලි සංඛ්‍යාවක් විභාග නොකර ගොඩගැසී ඇති බවත්, මේ හේතුවෙන් පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වන බවත් පොලිස්පතිවරයා නිරීක්ෂණය කර ඇත.

සුළු ආරවුලක් ලෙස පටන් ගන්නා සිද්ධියක්, පොලිසිය එය කඩිනමින් විභාග නොකිරීම නිසා බරපතල අපරාධයක් දක්වා වර්ධනය විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස්පතිවරයා නිකුත් කර ඇති නියෝගය ඉතා පැහැදිලිය: “මින් ඉදිරියට පොලිස් ස්ථානවලට වාර්තාවන විවිධ පැමිණිලි වාර්තාවූ දිනයේම විභාග ආරම්භ කළ යුතු අතර, පැය 48ක් ඇතුළත එම විභාග කටයුතු අවසන් කිරීමට පියවර ගත යුතුය.” මෙය හුදෙක් නියෝගයක් පමණක් නොව, එය කඩ කරන ස්ථානාධිපතිවරුන් සොයා බලා වාර්තා කිරීමට ඉහළ නිලධාරීන්ට උපදෙස් ද දී ඇත.

එසේ නම්, පොලිසියට පැමිණිල්ලක් කර සති ගණනාවක් ගත වී ඇතත් ඔබට තවමත් කැඳවීමක් ලැබී නොමැති නම් ඔබ කළ යුත්තේ කුමක්ද? නව ක්‍රමවේදයට අනුව, ඔබ පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සති දෙකක් (දින 14ක්) ඇතුළත කිසිදු කැඳවීමක් හෝ සාධාරණ පියවරක් ගෙන නොමැති නම්, ඒ සම්බන්ධයෙන් ඍජුවම පොලිස්පතිවරයා වෙත පැමිණිලි කිරීමට ඔබට අවස්ථාව සලසා දී ඇත. මේ සඳහා ඔබ පොලිස් මූලස්ථානයට යා යුතු නැත. ඔබට www.telligp.police.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ පොලිස් ස්ථානය සහ ඔබේ පැමිණිල්ල පිළිබඳ තොරතුරු ඇතුළත් කර, ඔබේ අතෘප්තිය පොලිස්පතිවරයා වෙත යොමු කළ හැකිය. එවිට අදාළ පොලිස් ස්ථානයට එරෙහිව ඉහළ මට්ටමෙන් පරීක්ෂණයක් සිදුවනු ඇත.

පැමිණිල්ලක් විභාග නොවීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඇතැම් විට අප විසින් ඉදිරිපත් කරන පැමිණිල්ලේ ඇති දුර්වලතාවයන් බව ද ඔබ පිළිගත යුතුය. එදිනෙදා ජීවිතයේදී අපට මුහුණ දීමට සිදුවන පහරදීම්, බහින්බස්වීම් හෝ රිය අනතුරු වැනි සිදුවීම්වලදී “පළමු පැමිණිල්ල” (First Information Report) ඉතා තීරණාත්මක වේ.

උදාහරණයක් ලෙස, පහරදීමකදී එක් පාර්ශවයක් රෝහල් ගත වන විට, අනෙක් පාර්ශවය වහාම පොලිසියට ගොස් තමාට පහර දුන් බවට බොරු පැමිණිල්ලක් දැමිය හැකිය. එවැනි විටෙක ඔබ ප්‍රමාද වුවහොත් නීතිය ඉදිරියේ ඔබ විත්තිකරුවෙකු වීමේ අවදානමක් ඇත. එබැවින් යම් සිද්ධියක් වූ වහාම, ඔබට පොලිසියට යාමට නොහැකි නම් වෙනත් හිතවත් පාර්ශවයක් ලවා හෝ, වඩාත් සුදුසුම ක්‍රමය ලෙස නීතිඥවරයෙකු මාර්ගයෙන් හෝ වහාම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

විශේෂයෙන්ම ස්ත්‍රී දූෂණ හෝ ලිංගික හිංසනයන් වැනි සංවේදී කරුණකදී හැකිතාක් ඉක්මනින් පැමිණිලි කිරීම නඩු විභාගයේදී අතිශය වැදගත් සාක්ෂියක් වේ.
එසේම, යම් හෙයකින් ඔබට පොලිස් ස්ථානය වෙත යාමට නොහැකි තරම් හදිසි ජීවිත තර්ජනයක් හෝ බාධාවක් පවතින්නේ නම්, වහාම 119 හදිසි ඇමතුම් අංකය අමතා පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පසුබට නොවන්න. 119 වෙත ලබා දෙන තොරතුරක් ද නීතිය ඉදිරියේ ‘පළමු පැමිණිල්ලක්’ (First Information) ලෙස පිළිගනු ලබන අතර, එය පසුකාලීන නඩු විභාගයකදී ඉතා වැදගත් සාක්ෂියක් ලෙස භාවිතා කළ හැකිය.

තවද, බොහෝ දෙනෙක් පොලිසියට ගොස් හැඟීම්බරව විස්තරය පැවසුවද, නීතිමය වශයෙන් වැදගත් වන “කරුණු” සටහන් කරවීමට අමතක කරති. ඔබ පැමිණිල්ලක් කිරීමට යාමේදී හෝ නීතිඥවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමේදී පහත කරුණු නිවැරදිවම මතක තබා ගැනීම හෝ සටහන් කර ගැනීම වැදගත්ය.

සිද්ධියට සම්බන්ධ වාහනවල අංක.
පුද්ගලයින් ඇඳ සිටි ඇඳුම්වල පාට සහ ස්වභාවය.
සැකකරුවන්ගේ මුහුණුවල හෝ ශරීරයේ විශේෂ ලක්ෂණ (කැළැල්, පච්ච ආදිය).
සිද්ධිය වූ වේලාවන් හැකිතාක් නිවැරදිව.
අදාළ ස්ථානය, ලිපිනය සහ පිහිටීම.
දුර ප්‍රමාණයන් හෝ මිනුම් (අඩි, මීටර්).
තමන් ඇසින් දුටු හා අත්විඳි සත්‍ය කරුණු පමණක් ප්‍රකාශ කිරීම.

අප ජීවත් වන්නේ තාක්ෂණික යුගයක බැවින් හුදෙක් වාචික සාක්ෂි මතම යැපීම අවශ්‍ය නොවේ. සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන, හඬ පටිගත කිරීම් (Voice Recordings) හෝ CCTV දර්ශන ඔබ සතුව ඇත්නම් ඒවා සුරක්ෂිතව තබා ගන්න. පැමිණිල්ල ඉදිරිපත් කරන අවස්ථාවේදීම ‘මා සතුව මේ සම්බන්ධ වීඩියෝ/හඬ පට සාක්ෂි ඇත’ යන බව පොලිසියට දන්වා පැමිණිල්ලේ සටහන් කරවා ගන්න. කෙසේ වෙතත්, එම සාක්ෂි සහිත ඔබගේ ජංගම දුරකථනය හෝ අදාළ උපාංගය ආරක්ෂිතව තබා ගැනීම නඩු විභාගයකදී අතිශයින් වැදගත් වේ.

අවසාන වශයෙන්, ඔබ ලබා දුන් ප්‍රකාශය පොලිස් නිලධාරියා විසින් සටහන් කරගත් පසු, එහි අත්සන් කිරීමට පෙර එය නැවත කියවා බැලීමට හෝ ඔබට කියවා දෙන ලෙස ඉල්ලා සිටීමට ඔබට පූර්ණ අයිතියක් ඇත. බොහෝ දෙනෙක් පොලිසියට ඇති බිය නිසා නොකියවාම අත්සන් තබති. නමුත් පසුකාලීනව උසාවියේදී “මම එහෙම කිව්වේ නෑ, පොලිසියෙන් වැරදියට ලියලා” යැයි පැවසීමෙන් ඵලක් නොවනු ඇත. එබැවින්, ඔබ කියූ දේම එහි ලියැවී ඇත්දැයි තහවුරු කරගන්න. යම් වරදක් ඇත්නම් එය එම අවස්ථාවේදීම නිවැරදි කරවා ගැනීමට කටයුතු කරන්න.

පැමිණිල්ලක් කළ පමණින් ඔබේ වගකීම අවසන් නොවේ. පැමිණිල්ල සටහන් කරගත් පසු ඊට අදාළ පැමිණිලි අංකය ඉල්ලා ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය. බොහෝ දෙනෙක් මෙය මග හරින අතර, පසුව පොලිසිය එවැනි පැමිණිල්ලක් නැතැයි පැවසුවහොත් ඔබ අසරණ විය හැකිය. එසේම රජයේ ගාස්තුවක් ගෙවා ඔබේ පැමිණිල්ලේ සහතික කළ පිටපතක් ලබා ගැනීමට ද ඔබට නීතිමය අයිතියක් ඇත.

නීතිගරුක පුරවැසියන් ලෙස ඔබ සිහි තබා ගත යුතු තවත් වැදගත් කරුණක් තිබේ. නීතියේ රැකවරණය පතා යන ඔබ, නීතිය අවභාවිතා නොකිරීමට ද වගබලා ගත යුතුය. පෞද්ගලික තරහවක් පිරිමසා ගැනීමට හෝ යමෙකු අමාරුවේ දැමීමට අසත්‍ය පැමිණිලි කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. එබැවින් සැමවිටම සත්‍ය තොරතුරු පමණක් ඉදිරිපත් කිරීමට වගබලා ගන්න.

මෙම නව ප්‍රතිසංස්කරණ සහ නිවැරදි නීතිමය දැනුම සමඟ, පොලිසිය යනු තවදුරටත් මහජනතාව රස්තියාදු කරන තැනක් නොව, මහජනතාවට වගකියන ආයතනයක් බවට පත් කරගැනීමේ බලය ඇත්තේ පුරවැසියන් වන ඔබ අතේ බව සිහි තබා ගන්න.

සැකසුම: නීතිඥ නාලින්ද දිසානායක.

උපුටා ගැනීම law guidance ෆේස් බුක් පිටුවෙනි.

Social Sharing
අවකාශය පුවත්