
විපක්ෂ මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල ඊයේ දිනයේ (ජනවාරි 19) පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල වත්මන් තත්ත්වය පිළිබඳව ප්‍රශ්න කිහිපයක් යොමු කළාය. එහිදී පළමුව පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ තත්ත්වය පිළිබඳව විමසූ අතර, අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ 2026 ජනවාරි හතර වන දින වන විට කාන්තාවන් 107 දෙනෙකු සහ පිරිමින් 2,139 දෙනෙකු ඇතුළුව රැඳවියන් 2,246 දෙනෙකු එහි රඳවා සිටි බවත්, බන්ධනාගාරයේ රඳවා තබාගත හැකි අනුමත ධාරිතාව 699 ක් පමණක් බවත්ය.
රට පුරා සිටින රැඳවියන් 37,761 දෙනෙකුගෙන් 27,000 ක් තවමත් වරදකරුවන් වී නොමැති රිමාන්ඩ් සිරකරුවන් බව පෙන්වා දුන් මන්ත්‍රී කිරිඇල්ල, ශ්‍රී ලංකාව පළමු වරට වැරදිකරුවන්ට හෝ යහපත් හැසිරීමක් ඇති අයට පොදු සමාව වැනි යාන්ත්‍රණ සලකා බැලිය යුතු යැයි යෝජනා කළ අතර, ඇප ගෙවීමට නොහැකි අයට දකුණු අප්‍රිකාවේ ඇප අරමුදල ඔස්සේ ඔවුන්ගේ ඇප ගෙවීම සිදු කරන ආකාරය පිළිබඳව සිහිපත් කළාය.
ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නානායක්කාර මහතා දුම්බර ඇතුළු බන්ධනාගාර පද්ධතිය පුරා දැඩි තදබදයක් ඇති බව පිළිගත්තේය. ඒ අනුව “දැනටමත්, Community correction system ඔස්සේ, පසුගිය වසර තුළ පමණක්, පුද්ගලයින් 17,000 ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත නොකර අධීක්ෂණය යටතේ තබා ඇති අතර, එමඟින් තදබදය අඩු වී තිබේ. අපි මෙම වසරේත් මෙය දිගටම කරගෙන යනවා. වර්තමානයේ, එසේ කළ නොහැකි අයට දඩ මුදල් ගෙවීමට ස්වේච්ඡා සංවිධාන ඉදිරිපත් වන අතර, අවශ්‍ය පහසුකම් අපි සපයන්නෙමු. තදබදයට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අයයි. දඩ මුදල් ගෙවීමෙන් පමණක් තදබදය අඩු වෙන්නේ නෑ. විසඳුම් මගේ අමාත්‍යාංශය තුළ තියෙනවා. මේ සඳහා අධිකරණ වෛද්‍ය වාර්තා කඩිනම් කෙරන අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පුද්ගලයින් 50 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තියෙනවා ඒ වගේම තවත් 32 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී. මාස තුනක් ඇතුළත අධිකරණ වෛද්‍ය වාර්තා නිකුත් කිරීම සඳහා ක්‍රමයක් ස්ථාපිත කිරීමට මම අපේක්ෂා කරනවා. අධිකරණ වෛද්‍ය වාර්තා කඩිනම් නොකර ඇප ලබා දීම කඩිනම් කළ නොහැක. ඒ අනුව බන්ධනාගාර තදබදය අඩු කිරීමට පියවර ගනිමින් පවතිනවා. ” යනුවෙන් ඔහු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කිරිඇල්ල තවදුරටත් පුනරුත්ථාපනය පිළිබඳ කනස්සල්ල මතු කළ අතර, රැඳවියන් 37,000 න් 30,000 ක් පමණ මත්ද්‍රව්‍ය ආශ්‍රිත සිරකරුවන් බව සඳහන් කළාය. ඇය පෙන්වා දුන්නේ 2025 අයවැයෙන් පුනරුත්ථාපනය සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරන ලද අතර, මූල්‍ය ප්‍රගතිය 1% ක් පමණ වූ බවත් 2026 සඳහා, රුපියල් මිලියන 1,000 ක් වෙන් කර ඇති අතර, එය එක් රැඳවියෙකුට දළ වශයෙන් රු. 300 ක් වන අතර, එය ප්‍රමාණවත් නොවන බව ඇය තර්ක කළාය.
ඇමති නානායක්කාර ප්‍රතිචාර දැක්වූයේ ඇගේ ගැටළු වලංගු වුවද, පැහැදිලි කිරීමක් අවශ්‍ය බවයි.
“රිමාන්ඩ් සිරකරුවන් 27,000 දෙනා පුනරුත්ථාපනය කළ නොහැක. කලින් අධිකරණ අමාත්‍යාංශය යටතේ පැවති පුනරුත්ථාපන අංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති අතර, එම අමාත්‍යාංශය ද පුනරුත්ථාපනය කටයතු සිදු කළේය. එබැවින්, අමාත්‍යාංශ දෙකම එක්ව පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මේ දිනවල, රජයේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන සමඟ, සමහර දිනවල පුද්ගලයින් 700 ක් පමණ අත්අඩංගුවට ගනු ලබන අතර, බොහෝ දෙනෙකු ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කරනවා. පුනරුත්ථාපනය සඳහා අරමුදල් හිඟයක් නැහැ. අරමුදල් ප්‍රමාණවත් නොවන්නේ නම්, ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තියෙනවා අධිකරණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යන දෙකම පුනරුත්ථාපන කටයුතු සඳහා ප්‍රමාණවත් අරමුදල් ඇත, ”අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැහැදිලි කළේය.
