දික්කසාද නීතිය සහ මුස්ලිම්, තේසවලාමේ නීතිවලට යෝජිත වෙනස්කම්

ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් සමග සැසඳීමේදී අඩු ම දික්කසාද සංඛ්‍යාවක් සිදුවන රටක් ලෙස පිළිගැනේ. ඇතැම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අඩුවෙන් ම දික්කසාද සිදු වන රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ, දෙවන ස්ථානයේ ය. එය සංඛ්‍යාත්මකව ගතහොත්, ජනගහනයෙන් 1000කට 0.15ක් බව සංඛ්‍යා ලේඛනවල දැක්වේ. ශ්‍රී ලංකාව, වියට්නාමය වැනි රටවල අඩු ම දික්කසාද සංඛ්‍යාවක් සිදුවීමට හේතුව එම රටවල ආගමික, සමාජයීය සහ වෙනත් බලපෑම් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ අතර, ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය සම්බන්ධයෙන් යළිත් අවධානයක් යොමු වී තිබේ.

ඒ, පවතින දික්කසාද නීතිය සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ෆයිසර් මුස්තෆා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බවට ප්‍රකාශයක් කිරීමත් සමග ය.

දික්කසාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිය කුමක් ද?

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සාමාන්‍ය විවාහ නීතිය අනුව දික්කසාද නඩුවක් ගොනු කළ හැක්කේ චෝදනා තුනක් යටතේ ය.

එම චෝදනා වන්නේ,

අනාචාරය: විවාපත් යුවළෙන් කෙනෙකු පිටස්තර පුද්ගලයෙකු සමග කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදෙන්නේ නම් එය අනාචාරය ලෙස හඳුන්වයි. අනාචාරය යන්න “සාධාරණ සැකයකින් තොරව” ඔප්පු කිරීමට අධිකරණය වෙත ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතු ය.

ද්වේශසහගත හැර යාම: මෙය කොටස් දෙකකි. සාමාන්‍ය ද්වේශසහගත අතහැර යාම – අතහැර යාමේ චේතනාව ඇති පාර්ශවකරුවෙකු වෛවාහික නිවසින් පිටවී යාම මෙහිදී සිදු වී තිබිය යුතු ය. අනුමිත ද්වේශසහගත අතහැර යාම – අනෙක් පාර්ශවයේ ක්‍රියා කලාපය නිසා වින්දිත පාර්ශවයට නිවස අතහැර යාමට සිදුවීම. මෙහිදී අතහැර යන පුද්ගලයා වරද සිදු කරන්නෙකු බවට පත් නොවේ. අතහැර යන තැනට කටයුතු කරන තැනැත්තා වරදකරු බවට පත්වේ.

සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව: සාමාන්‍ය ලෙස ලිංගික සේවනයේ යෙදීමට ඇති නොහැකියාව ලිංගික බෙලහීනතාව ලෙස හැඳින්වේ. දරුවන් නොමැති වීම හෝ වඳ බව ලිංගික බෙලහීනත්වය ලෙස හැඳින්විය නොහැක. නමුත් එම තත්ත්වයට හේතුව ලිංගික බෙලහීනත්වය යැයි වෛද්‍ය වාර්තා මගින් ඔප්පු කළ හැකි නම් එය අධිකරණයට ඉදිරිපත් කළ හැකි ය.

විවාහ නීතියට යෝජනා කෙරෙන සංශෝධන මොනවා ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තෆා ශ්‍රී ලංකාවේ විවාහ නීතියට අදාළව සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඉන් එකක් වන්නේ, දික්කසාද නීතියට අදාළව ‘වැරදි මත පදනම් නොවූ දික්කසාද’ (No Fault Divorce) ක්‍රමය යි. “අපේ පොදු විවාහ නීතිය ගත්තහම දික්කසාදයක් ගන්න වෛවාහක වරදක් සනාථ කරන්න ඕනෙ. කැමැත්තෙන් දෙන්නෙකුට වෙන් වෙන්න බැහැ. සමාජය ඉතාමත් ප්‍රගතශීලී වුණාට අද උසාවියේදී වෛවාහක වරදක් පිළිගන්නෙ නැතුව දික්කසාදයක් ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන නිසා අනෙකුත් රටවල් රැසක ක්‍රියාත්මක වෙන විදිහට දෙන්නෙක් අකැමති නම් විවාහ ජීවිතය ගෙනියන්න, දෙන්නට ම එකඟතාවකින් දික්කසාදය ලබා ගැනීමේ නෛතික වාතාවරණයක් ඇති කිරීම තමයි, මගේ බලාපොරොත්තුව,” පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තෆා පැවසීය.

ඒ අනුව, මෙම නීතිය සංශෝධනය වුවහොත් වරද ඔප්පු කිරීමකින් තොරව දෙදෙනාගේ කැමැත්ත පරිදි දික්කසාදය ලබා ගත හැකි වනු ඇත.

මීට අමතරව, ෆයිසර් මුස්තෆා මුස්ලිම් සහ තේසවලාම් විවාහ නීති ද සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ.

මුස්ලිම් විවාහ නීතියට අදාළව විවාහ වීම සඳහා වන අවම වයස අවුරුදු 18 බවට පත් කිරීම, නඩත්තු නඩු මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීම, කාදි උසාවිවලට නීතිඥවරුන් පත් කිරීම යන සංශෝධන සහ තේසවලාමේ නීතිය අනුව, බිරිඳගේ දේපළවල භාරකාරත්වය ස්වාමි පුරුෂයාට හිමි වීමේ නීතිය සංශෝධනය කිරීමට ද මෙහිදී අපේක්ෂිත ය.

මන්ත්‍රීවරයාගේ අරමුණ වී ඇත්තේ, මෙම නීති සංශෝධනය කිරීම මගින් “පූර්ණ සමාජයීය වෙනස්කම් ඇති කිරීම” ය.

‘අලුත් නීතිය හරහා පවුල් බිඳ වැටීම් ඉහළ යන්න පුළුවන්’

ශ්‍රී ලංකාවේ විවාහ නීතිය මගින් පවුල යන සංකල්පය ශක්තිමත්ව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් පවසයි. ඔහු ප්‍රකාශ කළේ, වත්මන් නීතිය සකසා ඇත්තේ, පවුල් බිඳ වැටීම වළකමින් ඒවා ආරක්ෂා කර ගැනීමට බව ය.

“ශ්‍රී ලංකාවේ විවාහ සංකල්පය ඉතා ම ප්‍රබල යි. ඒක ශක්තිමත්ව පවත්වාගෙන යන්න තමයි, ලේසියෙන් වෙන් වෙන්න බැරි කොන්දේසි දාලා තියෙන්නේ. පවතින නීතිය අනුව, දරුවන්ට දෙමාපියන්ගේ රැකවරණය අහිමි වීම අවම වෙනවා. ගොඩක් වෙලාවට දරුවන් ගැන හිතලා පවුල් කන අය ඉන්නවා. ඒක දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් ඉතා ම හොඳ දෙයක්.”

මේ අතර, යෝජිත නව සංශෝධන යටතේ පවුල යන සංකල්පය බිඳ වැටීමේ අවදානමක් ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය. “අලුත් නීති හරහා පවුල් බිඳ වැටීම ඉහළ යන්න පුළුවන්. ඒ නිසා අලුත් සංශෝධන ගෙන එනවා නම් විචක්ෂණශීලීව විමර්ශනය කරලා තීන්දු ගන්න ඕනෙ. නැත්නම් ඒක සමාජයට බලපෑමක් වෙන්න පුළුවන්.”

විවාහ නීති සම්පාදනය සම්බන්ධයෙන් වන කමිටු කිහිපයක සාමාජිකත්වය දරන නීතිඥ අර්මිසා ටීගල් පවසන්නේ, වරද මත පදනම් නොවූ (No Fault divorce) දික්කසාද ක්‍රමයක් ඇති කිරීම යහපත් බව ය. “මගේ පෞද්ගලික අදහස තමයි, No fault divorce ක්‍රමයකට යන එක හොඳ යි කියන එක. එතකොට පාර්ශවකරුවන්ට තීරණය කරන්න පුළුවන් විවාහයක් කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනව නම් අධිකරණයට ගිහිල්ල ඒක අධිකරණයේ දිගින් දිගට ම ගෙනියන්නෙ නැතුව යම්කිසි මාර්ගයකින් මේවා විසඳෙන්න තමයි, ක්‍රමයක් හැදෙන්න ඕනෙ. නැත්නම් පාර්ශවකරුවො තව තවත් අමාරුවෙ දාන්න නෙවෙයි. No fault divorce නීතිය ජාත්‍යන්තරව භාවිත කරන ක්‍රමයක්.”

කෙසේ වෙතත්, දරුවන්ගේ අයිතිය සම්බන්ධයෙන් ද නීති දියුණු විය යුතු බවත්, දරුවන්ට බලපෑමක් නොවන පරිදි නීති ක්‍රියාත්මක විය යුතු බවත් ඇය පෙන්වා දුන්නා ය. දික්කසාද නීති හඳුන්වා දීමේදීත්, ක්‍රියාත්මක කිරීමේදීත් දරුවන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ඇයගේ අදහස යි.

බී බී සී සිංහල වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලද්දකි

Social Sharing
අවකාශය පුවත්