
ආපදා තත්ත්වය මත අනාරක්ෂිත තත්ත්වයට පත් දරුවන් සම්බන්ධව විමසීම් කරන නොහඳුනන තැනැත්තන් වෙත තොරතුරු ලබා දීමෙන් වළකින්න ලෙස ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්..
” දිට්වා ” සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධව තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලා සිටීම සම්බන්ධව – ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය.
” දිට්වා ” සුළි කුණාටුව හේතුවෙන් දෙමාපියන් අහිමිව අනාරක්ෂිත භාවයට පත් වූ දරුවන් පිළිබඳ විවිධ පුද්ගලයින් විසින් එම දරුවන් රැකබලා ගැනීම හා ඔවුන්ගේ ඉදිරි ජීවන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දරුවන් ඔවුන් භාරයට පත් කරන ලෙස ඉල්ලීම් කරමින් විවිධ දුරකථන අංක පල කරමින් ඒවාට දරුවන්ගේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පණිවිඩ සංසරණය වන බවට ශ්‍රී ලංකා පොලිසියට නිරීක්ෂණය වී ඇත.
මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දුරකථන අංක පල කරනු ලබන ඇතැම් නොහඳුනන පුද්ගලයින් විසින් අනාරක්ෂිත භාවයට පත් වූ දරුවන් පිළිබඳ තොරතුරු ඉල්ලා ලබා ගැනීමෙන් පසු එම දරුවන්ගේ භාරකරුවන් ලෙස පෙනී සිටිමින් සහන සපයන මුවාවෙන් විවිධ නීතිවිරෝධී කටයුතු සඳහා යොමු කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇත.
එසේම දරුවන් ලිංගික අපයෝජන, ළමා අපචාර, මෙහෙකාර සේවයේ යෙදවීම හා ළමුන් කෲරත්වයට පත් කිරීම් ඇතුළු අපරාධ සඳහා මෙම අනාරක්ෂිත දරුවන් ලක්වීමද සිදු විය හැකිය.
එම දරුවන් නිසි භාරකාරත්වයට ගෙන ඔවුන් සුරක්ෂිතව පෝෂණය කිරීමේ හෝ දරුකමට හදා වඩා ගැනීමට යම් තැනැත්තෙකුට සද්භාවයෙන්ම අවශ්‍යතාවයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන සාමාන්‍ය පොදු නීතිය යටතේ ගරු දිසා අධිකරණයේ නඩු කටයුත්තක් ආරම්භ කිරීමෙන් පසු එම කටයුතු ඉටුකර ගත හැකි වනු ඇත.
ඒ අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස දුරකථන අංක පලකරමින්, අනාරක්ෂිත භාවයට පත් වූ දරුවන් පිළිබඳ විමසීම් කරන නොහඳුනන තැනැත්තන් වෙත එම දරුවන්ගේ තොරතුරු ලබා දීමෙන් වැළකී සිටින ලෙසට ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටී. එවැනි දෙමව්පියන් අහිමිව අනාරක්ෂිත තත්ත්වයට පත් දරුවන් සම්බන්ධව යම් අයෙකුට සහනයක් ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී ළමා රක්ෂණ අධිකාරිය හෝ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය දැනුවත් කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

