ආපදාවලට ලක්වුණ ජනයාට වෛද්‍ය උපදෙස් සඳහා දුරකථන අංකයක් 0777 119 900 – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ ජනතාවට අවශ්‍ය වෛද්‍ය උපදෙස් නිවසේ සිටම ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) විසින් විශේෂ දුරකථන සේවාවක් හඳුන්වා දී තිබේ.

ගංවතුර සහ ආපදා තත්ත්වයන් හමුවේ ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීමට ඔබට 0777 119 900 යන අංකය ඇමතීමෙන් හැකියාව ලැබේ.

රෝග පැතිරීමේ අවදානම සහ ඔබ සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් කෙරෙහි ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධානය යොමු කරයි.

ගංවතුර බැස යාමත් සමඟ විවිධ වසංගත රෝග පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. විශේෂයෙන්ම පහත රෝග තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න:

  • මී උණ (Leptospirosis): ගංවතුරට බැසීමෙන් හෝ අපිරිසිදු ජලය ශරීරයේ තුවාල හරහා ඇතුළු වීමෙන් වැළඳිය හැක.
  • පාචනය සහ අතීසාරය: අපිරිසිදු ජලය සහ ආහාර මගින් බෝවේ.
  • ඩෙංගු: ජලය එක්රැස් වී ඇති ස්ථානවල මදුරුවන් බෝවීමෙන් පැතිර යා හැක.
  • චර්ම රෝග සහ ශ්වසන ආබාධ.

ආරක්ෂා වීම සඳහා මූලික සෞඛ්‍ය උපදෙස්:

  1. පානීය ජලය: සැමවිටම හොඳින් නටවා නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය පමණක් පානය කරන්න.
  2. ආහාර සුරක්ෂිතතාව: පිසූ ආහාර උණුසුම්ව තිබියදීම අනුභව කරන්න. මැස්සන්ගෙන් ආරක්ෂා කරගැනීමට ආහාර වසා තබන්න. පලතුරු සහ එළවළු ලුණු වතුරෙන් හොඳින් සෝදා ආහාරයට ගන්න.
  3. මී උණෙන් ආරක්ෂා වීමට: ගංවතුරට බැසීමට සිදුවන්නේ නම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් (PHI) උපදෙස් ලබාගෙන ‘ඩොක්සිසයික්ලින්’ (Doxycycline) ඖෂධය නියමිත පරිදි ලබාගන්න.
  4. පරිසර පිරිසිදුකම: ඔබ රැඳී සිටින ස්ථානය සහ වැසිකිළි පද්ධති පිරිසිදුව තබාගන්න. කසළ ක්‍රමවත්ව බැහැර කරන්න.

උණ, ඇඟපත වේදනාව, කරකැවිල්ල හෝ වමනය වැනි රෝග ලක්ෂණ මතු වේ නම්, වහාම ළඟම ඇති රෝහල වෙත හෝ වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න. නැතහොත් ඉහත සඳහන් කළ 0777 119 900 අංකය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Social Sharing
නවතම පුවත්