
ජීවිත කාලය පුරාම පැතුවේ ‘අරගලයකි’. අරගලයේ බලය කොපමණ දැයි අරගලය පත්තුවන තුරු දැන සිටියේ නැත. අරගලයේ කතාව ද එසේමය. අරගල කල බහුතරය අරගලයේ කතාව දන්නේ ද නැත.
හිටපු රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු ද, උපකුලපතිවරයෙකු ද, අමාත්‍යාංශ ලේකම්වරයෙකු ද, ආයතන ප්‍රධානියෙකු ද වූ මහාචාර්ය සුනන්දයන් ‘ලියන අරගලයේ බලය’ තුල කියන දේ දොරටවැඩුම් උත්සවය අවසානයේ දී බොහෝ දෙනා කීවේ එවැනි කතාවකි.

පොහොර නැති, ලයිට් නැති, ගෑස් නැති යුගයක අපි අරගලයට මුල පිරුවෙමු. හිරුණිකා ගෝඨාභයගේ නිවස ඉදිරිපිට ට බස් තුනකින් කාන්තාවන් රැගෙන පෙළහර පාන්නට යන්නටත් පෙර, අපි පාර්ලිමේන්තුව ඉදිරිපිටින් ‘අරගලය’ ආරම්භ කළෙමු. අරගලයට දායකත්වය ද, හිරේ විලංගුව වැටෙන්නට නියමිත සිය ගණනකට රැකවරණය ද සැලසුවෙමු.
අරගලය පුරා ඇදී ගිය සමාජ, ආර්ථික, දේශපාලන, ජාත්‍යන්තර සාධක ගැන අපි ඇති තරම් කතා කළෙමු. අරගලය අවසානයේ දැන් මහාචාර්ය සුනන්ද පොතක් ලියා තිබේ.
අරගලය ආරම්භ කළ හිරුණිකා ඡන්දයෙන් පැරදී ගෙදර ගිය අතර, අන්තිම මොහොතේ අරගලයට එක් වූ ජවිපෙ රාජ්‍ය බලය ලබා ඇත.
කලක් මහාචාර්ය සුන්නද මද්දුම බණ්ඩාර රාජකාරි කළ කාමරයේ සිට විරප්පන් බලකාය රටටම කුණුහරුප බෙදමින් සිටී!
අරගලය මැද දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන්නට පැමිණ සිටින විට, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලැබුණි. එයට පිළිතුරු ලෙස, “රටම ගිණි තියලා, දැන් තමනුත් ගිණි තියා ගන්න හදනවා. මම කරන්නේ මේ වෙළාවේ කළ යුතු හොඳම දෙයයි” ගෝඨාභය කියූ බව මහාචාර්ය සුනන්ද සිය පොතේ 81 වන පිටුවේ ලියා ඇත.
“ දැන් රටේ සියළුම පරිපාලන මධ්‍යස්ථාන අරගලකරුවන් අල්ල ගෙන ඉවරයි. ඉතිරිව තිබෙන්නේ පාර්ලිමේන්තුව පමණයි. එය අරගලකරුවන් අතට පත් වූණොත් ඒ තමයි මේ රටේ ප්රජාතන්ත්රවාදයේ අවසානය. ඒ නිසා සියලු දෙනාම එකතු වී පාර්ලිමේන්තුව රැක ගෙන මේ රටේ ප්රජාතන්ත්රවාදය බේරා ගත යුතුයි” යැයි එවකට සිටි බලධාරීන් තීරණය කරන්නේ ලාල් කාන්ත, හඳුන්නෙත්ති, හර්ෂණ නානායක්කාර ලා පාර්ලිමේන්තුව වට කළ මොහොතේ යැයි සුනන්ද 97 වන පිටුවේ ලියා ඇත.
සුනන්ද දිගටම ලියන්නේ ය. බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අරගලයේ කෙන්ද්‍රීය සාධකය ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් කියාය. එසේ කියා පොත් ද ලියවී ඇත. මේ දක්වා ඉතා සීමිත පිරිසක් පමණක් දැන සිටි කතාව සුනන්ද ගේ පොතේ 153 පිටුවේ තනි වැකියකින් ලියා ඇත. “මේ අතර ජුලි 13 වැනිදා කතානායක නිල නිවසට හදිසියේම අමුත්තෙක් පැමිණියේය්. ඒ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ය”. එතැනින් එහා සිදු වූ දේ ඉතිහාසයයි.
“රනිල් පෝලිම් නැති කළේය. සාගතයෙන් මිය යෑමට සිටි ජනතාව බේරා ගත්තේය. බංකොළොත් වූ රට ඉන් මුදවා ගත්තේය. එසේ වූව ද, ජනතාව 2024 ජනාධිපවරණයෙන් ඔහු පරාජය කළේය.” ඔහු 184 පිටුවේ ලියයි.
උතුරේ යුධ කඳවුරුවල සිටින හමුදා භටයින් කොළඹට කැඳවීමේ යෝජනාව ගැන කතුවරයා කියන කතාව අරගලයට දායක වූ අති බහුතරයක් දන්නේ නැත.
පාර්ලිමේන්තුව වට කිරීමේ අවස්ථාවේ දී දේශපාලන පක්ෂ නායකයින් හැසිරුණු ස්වභාවයත් ඔවුන් සියළු දෙනා මැතිවරණයේ දී පරාජයට පත් වූ ආකාරය ගැනත් කියන කතා ජනප්‍රිය නැත.
අරගලයට පෙර සුදානම ඇති වන යුගයේ සිට අරගලයේ සෑම අදියරක්ම මම දුටුවෙමි. බෝහෝමයකට සහභාගි වුනෙමි. තිරයෙන් පිටුපස දේ දැක්කෙමි. ඇසුවෙමි. විමසුම් කර ඇත්තෙමි. ඉන් පසු පාපැදියෙන් ජනාධිපති කාර්යාලයට ගොස් මේ අගාධයෙන් රට මිදෙන තෙක් වැඩ කළෙමි. දිගින් දිගටම වැඩ කළෙමි. ඡන්ද පවත්වා ඒවා පරාජය වන හැටි දුටුවෙමි.
බොහෝ මිනිසුන් තමාගේ පිගානට බත් සිට ලැබෙන ආකාරය දන්නා නමුත්, ජීවිතයට නිදහස ලැබෙන හැටි හෝ ඇත්මයට සිර කුටිය නිර්මාණය වන හැටි දකින්නේ නැත. ‘අරගලයේ බලය’ ද එසේමය. 2022 අරගලය බොහෝ දෙනා දන්නේ නැත. දැක්කේ ද නැත. හැදින්නේ ද නැත.
ලංකාවේ අරගලය බංගලි දේශය, නේපාලය වැනි ලේ විලක් නොවී බේරුණේ කතානායකවරයා නිසාය. අරගලය සමකාමීව අවසන් වන්නට ප්‍රධානම සාධකය මහින්ද යාපා අබේවර්ධන වුවත් එහි ගෞරවය ඔහුට කිසිදා ලැබේ දැයි සැක සහිතය. අරගලයෙන් වසර වසර තුන හමාරකට පසුව කතානායකවරයා පළමුවර තමා මුහුණදුන් අත්දැකීම් වලින් කිහිපයක් එළි පිට පැවසූවේය. තවත් කිව යුතුම කතා රැසක් ඔහු පෙත දොරට වඩින සභාවේ දී නොකියා සිටියේය.
බංගලිදේශය, නේපාලය, මැඩකස්කරයේ අරගලය සාර්ථකය. ලංකාවේ අරගලය ‘අසාර්ථකය’. බටහිර ජනමාධ්‍ය නිතර කියන කතාවකි. දිනපතා තවමත් කියන කතාවකි.
ඒ කතාවේ තිරය පිටුපස කතාව, ‘අරගලයේ බලය’ යි. අරගෙන කියවන්න. නැතිනම්, ඉල්ලා ගෙන හෝ කියවන්න.
(මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර විසින් රචිත ‘අරගලයේ බලය’ කෘතිය ගැන සටහනකි.)
-රජිත් කීර්ති තෙන්නකෝන්-
