ත්‍රිකුණාමලය සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිවේදනයෙන් කියවෙන්නේ මොනවාද?

ත්‍රිකුණාමලය සිද්ධිය

ත්‍රිකුණාමලය සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එය පැටලිලි සහගත නිවේදනයකි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයක අනවසර ඉදිකිරීමක් කරන බවට එම දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් කළ බවත්, අදාල ස්ථානයේ බුදු පිළිමයක් තැම්පත් කෙරුණු බවත්, මෙම සිදුවීම මුල් කරගෙන ජාතීන් අතර අසමගියක් ඇතිවීමට ඉඩ ප්‍රස්ථාව ඇති බැවින් බුදුපිළිමයේ ආරක්ෂාවට එය පොලිස් ස්ථානයට ගෙන ගිය බවත්, තත්ත්වය සමථයකට පත්වූ පසු අද එය නැවත බාර දුන් බවත් පොලිසිය පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කාරණා කිහිපයක් ගැන සොයා බැලිය යුතුය.

  1. අදාල විහාරස්ථානයේ භික්ෂූන්වහන්සේලා සාමකාමීව කරගෙන ගිය වැඩපිළිවළට වෙනත් පිරිසක් මැදිහත් විය එම වැඩේ හයිජැක් කර අනවශ්‍ය කළබලයක් හදිසියේ ඇතිකිරීමට උත්සාහ කළේද යන්න.

  2. පොලිසිය මුල් අවස්ථාවේ දී කිසියම් දේශපාලන වුවමනාවකට අනවශ්‍ය කලබලයක් ඇතිකළේද යන්න.

  3. රාත්‍රී හදිසියේ බුදුපිළියම තැම්පත් කිරීම මගින් එම බුදුපිළිමයට සංවිධානාත්මකව යානියක් පමුණුවා යළි ජාතිවාදී ගැටලුවක් නිර්මාණය කිරීමට උත්සාහ කළේද යන්න හෝ ස්වාමීන්වහන්සේලා එම අවස්ථාවේ සද්භාවයෙන් කටයුතු කරද්දී වෙනත් පාර්ශ්වයකට එවැනි වුවමනාවක් තිබුණේද යන්න.

  4. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉඩමක අනවර ඉදිකිරීමක් කරන නිසා මෙලෙස පොලිසිය මැදිහත්වී නම් එවන එම ස්ථානයේම බුද්ධ ප්‍රතිමාව තැම්පත් කිරීමට පොලිසිය අවසර දුන්නේ කුමනහේතුවක් මතද යන්න.

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත නාමල් රාජපක්ෂලාගේ වැඩසටහනට උදව්වක් පිණිස රටේ ජාතිවාදී ගැටලුවක් ඇති කිරීමට පොලිසියේ පිරිසකට හෝ රාත්‍රී බුදුපිළිමය තැම්පත් කිරීමට සංවිධානය කර පිරිසෙන් ඇතැමුන්ට යම් වුවමනාවක් තිබුණේද යන්න සොයා බැලිය යුතුය.

මෙම අවස්ථාවේ දී පොලිසියේ, අදාල පිරිසගේ සහ ආණ්ඩුවේ යන තුනේම හැසිරීම අමනෝඥ මෙන්ම නාමල්ගේ කල්ලියට සහයෝගයක් දැක්වන ආකාරයේ ක්‍රියාවක් බව බැලූ බැල්මට පෙනේ.

බුදුන් වහන්සේගේ දර්ශනයේ හරය සලකා බැලීමේදී මෙවැනි කළබලයන් ඇතිකරමින් උන්වහන්සේගේ ප්‍රතිමාවක් තැම්පත් කිරීම උන්වහන්සේ දේශනාකළ ධර්මයට පවා පරිබාහිර කටයුත්තකි. එසේම මෙවැනි කළබලයක් ඇතිකරවන තත්ත්වයට පත් කිරීම පොලිසියේ අමනෝඥ ක්‍රියාවකි.

ඇත්තටම මෙම පාර්ශ්ව දෙකේම උත්සාහ එකක්ද, නැත්නම් සත්‍ය වශයෙන්ම අවංක චේතනාවෙන් කටයුතු කළේ කවුද යන්න ගැන වෙනම සොයා බැලිය යුතු වුවද මෙම අවස්ථාවේ ඇති බරපතලම තත්ත්ව එය නොවේ.

ඒ අපේ රට ජාතිවාදය මතින්, ආගම්වාදය මතින් පාලනය කිරීමට අතැම් දේශපාලන කල්ලි, කණ්ඩායම් වසර ගණනාවක් තිස්සේ උත්සාහ ගෙන තිබේ. මෙම සිද්ධිය එම කල්ලි, කණ්ඩායම්වල වුවමානවට සිදුවුණා වුවද, එම කණ්ඩායම්වල වුවමනාවලට සිදු නොවුණා වුවද දැන් ඔවුවු මේ මතින් දේශපාලනය කිරීමට උත්සාග ගනිමින් සිටිති. එය වහාම පරාජය කළ යුතුය.

මෙවැනි සිදුවීම් මගින් රටේ තරුණ කොටස් නැවතත් ඇන්දවීමට මෙම දේශපාලන කල්ලි/කණ්ඩායම්වලට ඉඩ නොතැබිය යුතුය. 2022 වසරේ මහජන නැගිටීම යළි ආපස්සට හැරවීමට මේ අවස්ථාවේ ඉඩ නොතැබිය යුතුය. පරාජතික ඇතැම් කල්ලි මේ ස්පර්ෂ කරන්නේ පුරවැසියන්ගේ සංවේදීම ස්ථානවලින් එකකි. ඔවුන්ගේ ස්පර්ශයන්ට අනුව සංවේදී වුවහොත් එවැනි අය නොදැනුවත්වම එමකල්ලි කණ්ඩායම්වල ගොදුරක් බවට පත්වනවා පමණක් නොව, රටම එම කල්ලි කණ්ඩායම්වල ගොදුරක් බවට පත් කරවීමට ද ඉඩ කඩ සලසා දෙන්නන් විය හැකිය.

මෙම ප්‍රශ්නය ජාතිවාදී ගැටලුවක් දක්වා ගෙන නොගොස් මේ අවස්ථාවේම සුදුසු ලෙස විසඳීම සියලුම පාර්ශ්වවල වගකීමකි. විශේෂයෙන් එය ආණ්ඩුවේ සහ බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ කටයුතු කරන භික්ෂූන් වහන්සේලාගේ වගකීමකි.

ඡායාරූප – ශබීර් මොහොමඩ් 

– තරිඳු ජයවර්ධන –

Social Sharing
අවකාශය නවතම