ශ්‍රී ලංකාවේ ජනගහනය එහි උපරිම මට්ටම පසුකර තිබේද?

පසුගිය (2024) වසරේ දෙසැම්බර් 19 වන දින “සංගණන මොහොතේදී” ලංකාවේ ජනගහනය ලෙස පුද්ගලයින් 21,781,800 දෙනෙකු ගණන් කර තිබෙනවා. ඊට පෙර 2012 සංගණන මොහොතේදී ලංකාවේ ජනගහනය ගණන් ගැනුණේ 20,359,439ක් ලෙසයි. මේ අනුව, වසර දොළහක පමණ කාලයක් තුළ ලංකාවේ ජනගහණයේ වර්ධනය 1,422,361ක් පමණයි.

වඩා වැදගත් කරුණක් වන්නේ මේ වර්ධනයෙන් 79.8%කටම දායක වී තිබෙන්නේ වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් ගණන 1,135,151කින් ඉහළ යාම වීමයි. මීට සාපේක්ෂව වයස අවුරුදු 15 නොඉක්මවූ ජනගහණය 5,131,666 සිට 4,506,839 දක්වා 20.7%කින් අඩු වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි.

වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයෙක් කියන්නේ 1959දී හෝ ඊට පෙර උපන් අයෙක්. 1959 වන විට ලංකාවේ උපත් අනුපාතිකය දහසකට 37.0ක් වැනි ඉතා ඉහළ මට්ටමක තිබුණා. 1960 පමණ සිට මෙම අනුපාතිකය ක්‍රමක්‍රමයෙන් අඩු වන්නට පටන් ගත්තා. 2024 වන විට ලංකාවේ උපත් අනුපාතිකය දහසකට 9.6 දක්වා අඩු වී තිබුණා.

එහෙත් මරණ අනුපාතිකය 1959 වන විටද දහසකට 9.1 මට්ටම දක්වා පහත වැටී තිබුණු බැවින් මරණ අනුපාතිකයෙහි ඊට සමාන්තර වේගවත් අඩු වීමක් සිදු වීමේ අවකාශයක් තිබුණේ නැහැ. එම අනුපාතිකය අඩු වූයේ සෙමෙන්. ඒ නිසා, උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර පරතරය ක්‍රමක්‍රමයෙන් අඩු වුනා. 2024 වන විට ලංකාවේ මරණ අනුපාතිකය දහසකට 7.8ක් වූ අතර උපත් හා මරණ අනුපාතික අතර වෙනස දහසකට 1.8 දක්වා අඩු වී තිබුණා.

ලංකාවේ ජනගහනය දිගින් දිගටම වර්ධනය වීමට හේතු වූයේ උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර වූ වෙනසයි. එම වෙනස ක්‍රමක්‍රමයෙන් අඩු වෙද්දී ජනගහණ වර්ධන වේගයද ක්‍රමයෙන් අඩු වුනා. මේ වන විට ලංකාවේ උපත් හා මරණ අනුපාතික අතර වෙනස රටේ ශුද්ධ සංක්‍රමණ අනුපාතිකයද ඉක්මවා පහත වැටී තිබෙනවා. එහි ප්‍රතිඵලය වනුයේ රටේ ජනගහනය ක්‍රමක්‍රමයෙන් අඩු වීමයි.

ලංකාවේ උපත් අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක පැවති 1960ට පෙර කාලයේදී ඉපදුනු අය මේ වන විට වයස අවුරුදු 65 ඉක්මවා සිටින අයයි. ලංකාවේ අපේක්ෂිත ආයු කාලය ආසන්න වශයෙන් වසර 78ක් පමණ වන බැවින් ඉදිරි කාලයේදී මරණ අනුපාතිකය ක්‍රමයෙන් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර වෙනස ඉදිරි වසර කිහිපය තුළ තවත් අඩු විය හැකියි. එමෙන්ම, ශුද්ධ සංක්‍රමණ අනුපාතිකයද තවත් කාලයක් යන තුරු ධන අතට හැරීමේ විභවයක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, පසුගිය සංගණනයේදී ගණන් ගැනුණු ලංකාවේ ජනගහණය බොහෝ විට ලංකාවේ සංගණනයකදී ගණන් ගැනුණු වැඩිම ජනගහණය විය හැකියි.

සංගණනය පැවැත්වූ දින සිට 2025 ජූනි 30 දක්වා වූ මාස හයකට මදක් වැඩි කාලය ඇතුළත රට තුළ උපත් 110,652ක් හා මරණ 95,181 සිදු වෙද්දී, ශුද්ධ වශයෙන් 41,002 දෙනෙකු රටෙන් පිටතට සංක්‍රමණය වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංගණන මොහොතේ සිට 2025 ජූනි 30 දක්වා කාලය ඇතුළත ලංකාවේ ජනගහනය 25,531කින් පහත වැටී තිබෙනවා.

– ඉකොනොමැට්ටා –

Social Sharing
අවකාශය නවතම