
දණ්ඩ නීති සංග්‍රහයේ XI වන වගන්තියට අනුව බොරු සාක්ෂි දීම වරදකි. දණ්ඩ නීති සංග්‍රහයේ 188 වන වගන්තියට අනුව බොරු සාක්ෂි දීම පහත පරිදි දැක්විය හැකිය.
ඇත්ත ප්‍රකාශ කිරීමට දිවුරුමකින් හෝ සහතික ප්‍රකාශයකින් හෝ නීතියේ යම් කිසි ප්‍රකාශිත විධිවිධානයකින් නීතියානුකූලව බැඳුනු නැතහොත් යම් කරුණක් ගැන ප්‍රකාශයක් කිරීමට නීතියෙන් බැඳුනු යමෙකු අසත්‍ය වූ හා අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නාවූ හෝ සත්‍ය බව විශ්වාස නොකරන්නා වූ ප්‍රකාශයක් ඔහු බොරු සාක්ෂි දුන් ලෙස සලකනු ලබයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 188 වන වගන්තියේ කියවෙන බොරු සාක්ෂි දීමේ වරද සංයුක්තවීම සඳහා පහත සඳහන් අංගයක් එක් විය යුතුය.
1. ඇත්ත කීමට දිවුරුමකින් හෝ සහතික ප්‍රකාශයකින් හෝ නීතියේ විධිවිධානවලින් බැදී සිටීම සහ
2. අසත්‍ය වූ සහ
3. අසත්‍ය බව දන්නා හෝ අසත්‍ය බව විශ්වාස කරන්නා වූ හෝ සත්‍ය බව විශ්වාස කරන්නා වූ
4. ප්‍රකාශයක් කිරීම බොරු සාක්ෂි දීම වේ.
යම් පනතක හෝ අඥා පනතක දිවුරුම් පිට බොරු සාක්ෂි දීම යන්නෙන් අදහස් වනුයේ ද මෙම වරදම වේ.
බොරු සාක්ෂි ලබා දීම වැඩිදුරටත් පැහැදිලි කරහොත් තමා විශ්වාස නොකරන දෙයක් විශ්වාස කරන බව කියා සිටින විට මෙන්ම, තමා නෙදන්නා දෙයක් දන්නා බව කියා සිටින විටද, යම් තැනැත්තෙකු බොරු සාක්ෂි දීමේ වරදට වැරදිකාරයකු විය හැකිය.
බොරු සාක්ෂි දීමේ වරද සඳහා දඬුවම් පහත පරිදි දැක්විය හැකිය.
1. අධිකරනයේ කටයුත්තක දී බොරු සාක්ෂි දෙනු ලැබුවහොත් වසර 07ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කළ යුතුවේ. දඩයකට ද යටත් වේ. තවද යුද්ධාදිකරණයක් ද මෙහිදී අධිකරණය යන අර්ථයට වැටේ. නඩු විභාගයකට අදාල යම් පරීක්ෂණයක් අධිකරණයෙන් බැහැරව පවත්වනු ලැබුව ද එය අධිකරණමය නීති කෘත්‍යයක අවස්ථාවක් වේ. (ද.නි.ස 190 වගන්තිය)
2. වෙනත් අවස්ථාවක දී බොරු සාක්ෂි දෙනු ලැබුවහොත් වසර 3ක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක සිරදඬුවමකට හා දඩයකට යටත් විය යුතුය. (ද.නි.ස 190 වගන්තිය)
3. යමෙකු දණ්ඩනීති සංග්‍රහය අනුව හෝ එංගලන්තයේ නීතිය අනුව මරණීය දණ්ඩනයේ දඬුවම් කළ හැකි වරදකට යමෙකු යටත් කරවීමේ අදහසින් බොරු සාක්ෂි ලබා දුනහොත් වසර 10 දක්වා කාලයකට බැපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමකට සහ දඩයකට යටත් විය යුතුය. (ද.නි.ස 190 වගන්තිය)
4. එබඳු බොරු සාක්ෂියක ප්‍රතිඵලය ලෙස යමකු මරණීය දණ්ඩනයට ලක්ව මරණයට පත් කරනු ලැබුවහොත් බොරු සාක්ෂි දුන් තැනැත්තා ද මරණීය දණ්ඩනයට ලක් කළ යුතුයි. (ද.නි.ස 191 වගන්තිය)
5. වසර 07කට හෝ ඊට වැඩි කාලයකට බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ හැකි වරදකට අදාලව යමකු වරදකාරයා කිරීමට බොරු සාක්ෂි දුනහොත් එකී වරදට අදාල දඬුවමින් දඬුවම් ලැබිය යුතුයි. (ද.නි.ස 192 වගන්තිය)
6. අසත්‍ය බව දන්නා සාක්ෂියකින් ප්‍රයෝජන ගතහොත් බොරු සාක්ෂි දුන් බොරු සාක්ෂි සැදූ ලෙස දඬුවම් කළ යුතුයි. (ද.නි.ස 193 වගන්තිය)
7. අසත්‍ය සහතිකයක් නිකුත් කිරීම හෝ අත්සන් කිරීම කළහොත් බොරු සාක්ෂි දුන් පරිදි දඬුවම් කළ යුතුයි. (ද.නි.ස 194 වගන්තිය)
8. අවශ්‍ය කරුණක අසත්‍ය බව දන්නා වූ සහතිකයක් සැබෑ සහතිකයක් ලෙස පාවිච්චි කළහොත් බොරු සාක්ෂි දුන් ලෙස දඬුවම් කළ යුතුයි. (ද.නි.ස 195 වගන්තිය)
9. සාක්ෂි වශයෙන් නීතිය අනුව පිළිගත හැකි යම් නිවේදනයක අසත්‍ය ප්‍රකාහයක් ඇතුලත් කළහොත් බොරු සාක්ෂි දුන් පරිදි දඬුවම් කළ යුතුය. (ද.නි.ස 195 වගන්තිය)
10. අවශ්‍ය කරුණක අසත්‍ය බව දන්නා වූ නිවේදනයක් සහ නිවේදනයක් ලෙස දූෂිතව පාවිච්චි කළහොත් බොරු සාක්ෂි දුන් ලෙස දඬුවම් කළ යුතුය. (ද.නි.ස 195 වගන්තිය)
11. කරනු ලැබූ වරදක් පිළිබඳ සාක්ෂි අතුරුදහන් කරවීම හෝ වැදකරු ආවරණය කිරීම සඳහා එය පිළිබඳ අසත්‍ය තොරතුරු සැපයුවහොත්,
• එම වරද මරණීය දණ්ඩනයට යටත් වන වරදක් නම් වසර 07 දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමකට සහ දඩයකට යටත් කළ යුතුය. (ද.නි.ස. 198 වගන්තිය)
• එම වරද අවුරුදු 10ක් දක්වා කාලයකට බන්ධනාගාර ගත කළ හැකි වරදක් නම් වසර 07 දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගතකිරීමෙන් සහ දඩයකින් දඬුවම් කළ යුතුය. (ද.නි.ස. 198 වගන්තිය)
• වසර 10 කට අඩු කාලයක් බන්ධනාගාර ගත කළ හැකි වරදක් නම් බන්ධනාගාර ගත කිරීමේ වැඩිම කාල සීමාවෙන් හතරෙන් පංගුවක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එම දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය. (ද.නි.ස. 198 වගන්තිය)
12. දැනුම් දීමට බැඳී ඇති තැනැත්තකු වරදක තොරතුරු ඕනෑකමින්ම දැනුම් නොදී සිටියහොත් හය මාසය දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එම දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ යුතුය. (ද.නි.ස. 199 වගන්තිය)
13. කරන ලද වරදක් සම්බන්ධව අසත්‍ය තොරතුරු සැපයීම කළහොත් වසර 02 ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතුය. (ද.නි.ස. 200 වගන්තිය) (පොලිස් ස්ථාන වෙත බොරු පැමිණිලි ඉදිරිපත් කර අන් අය වර දේ පැටලවීමට උත්සාහ කරන අයට විරුද්ධව මෙකී 200 වන වගන්තිය යටතේ නීතිමය පියවර ගත හැකිය.)
14. සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා ලේඛනයක් විනාශ කළහොත් වසර 02 ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගතකිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතුය. (ද.නි.ස. 201 වගන්තිය)
15. සිවිල් හෝ අපරාධ නඩුවක යම් කාර්යයක් සඳහා ව්‍යාජ ලෙස අන්‍යයෙකුගේ නාමයෙන් පෙනී සිටියහොත් වසර 03ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතුය. (ද.නි.ස. 202 වගන්තිය)
16. අහිමි කිරීමක් වශයෙන් හෝ නඩු තීන්දුවක් ක්‍රියාවේ යෙදවීමක් වශයෙන් ගනු ලැබීම වැලැක්වීම සඳහා යම් දේපලක් වංචක ලෙස ඉවත් කිරීම හෝ සැඟවීම කළහොත් වසර 02ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතුය. (ද.නි.ස. 203 වගන්තිය)
17. අහිමි කිරීමක් ලෙස හෝ තීන්දුවක් ඉෂ්ට කිරීමක් ලෙස දේපලක් ගනු ලැබීම වැලැක්වීම සඳහා වංචක ලෙස අයිතිවාසිකමක් ඉදිරිපත් කළහොත් වසර 02 ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතුය. (ද.නි.ස. 204 වගන්තිය)
18. අය නොවිය යුතු මුදලක් පිළිබඳ තීන්දු ප්‍රකාශයක් ඉටු කරවා ගනු ලැබුවහොත් වසර 02 ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගතකිරීමකින් හෝ දඩයකින් හෝ එම දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය. (ද.නි.ස. 205 වගන්තිය)
19 වංචක ලෙස හෝ වංකව බොරු අයිතිවාසිකමක් අධිකරණයේ දී ඉදිරිපත් කළහොත් වසර 02 ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාර බන්ධනාගාර ගතකිරීමකට සහ දඩයකට යටත් කළ යුතුය. (ද.නි.ස. 206 වගන්තිය)
20.අය නොවිය යුතු මුදලක් පිළිබඳව තීන්දු ප්‍රකාශයක් වංචක ලෙස ලබා ගතහොත් වසර 02 ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගතකිරීමකින් හෝ දඩයකින් හෝ එම දඬුවම් 02කින්ම දඬුවම් කළ යුතුය. (ද.නි.ස. 207 වගන්තිය)
21. යම් තැනැත්තෙකුට පාඩු කිරීමේ අදහසින් අපරාධ නඩුවක් පවරන ලදැයි හෝ වරදක් පිළිබඳව අසත්‍ය චෝදනා එල්ල කළහොත් වසර 02 දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතුය. (ද.නි.ස. 208වගන්තිය)
22. එම මරණිය දණ්ඩනයෙන් හෝ වසර 07 ක හෝ ඊට වැඩි කාලයකට සිරගත කළ හැකි වරදක් සම්බන්ධයෙන් එවැනි බොරු අපරාධ නඩුවක් පවරන ලද්දේ නම් වරදකරුට වසර 07 දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක සිර දඬුවමක් හා දඩයක් නියම කළ යුතුය. (ද.නි.ස. 208 වගන්තිය)
23. දඬුවමකින් හෝ දේපලක් අහිමි කරනු ලැබීමකින්, යම් තැනැත්තකු බේරා ගැනීමේ අදහසින් රජයේ සේවකයකු විසින් වැරදි වාර්තාවක් හෝ ලේඛනයක් පිළියෙල කළහොත් වසර 03 ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට සිරගත කිරීමකට හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ යුතු වේ. (ද.නි.ස. 215 වගන්තිය)
