
දේශපාලන අධිකාරියේ වෙනස්වීමත් සමග රටේ සෑම ක්ෂේත්‍රයක ම පුළුල් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඒ වෙනස ඉතා ප්‍රබල අයුරින් අපේක්ෂා කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසයි.
සම්පත් විෂමතාව, යටිතල පහසුකම් හිඟය සහ ගුරු හිඟය වැනි ගැටලු රැසක් මැද කන්නංගර චින්තනයෙන් අපට දායාද වූ නිදහස් අධ්‍යාපනය මේ දක්වා පවත්වාගෙන ඒමට දැරූ උත්සාහයන් හා කැපවීම් අගය කළ යුතු බවත් අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් නොමඳව ඇගයීමට ලක් විය යුතු බව ඇය පවසයි.
මේ වනවිට ලංකාවේ පාසල් 10,097ක් පැවතිය ද, අසීමාන්තික අධ්‍යාපන තරගකාරීත්වයක් පවතින්නේ සීමිත පාසල් 300ක් වැනි සංඛ්‍යාවක බවත් පැවසූ අමාත්‍යවරිය, එවැනි ඇතැම් පාසල්වල එක් පන්ති කාමරයක ශිෂ්‍ය සංඛ්‍යාව 50–60ක් වැනි ඉහළ අගයක් ගන්නා විට ඇතැම් දුෂ්කර ප්‍රදේශවල පාසලකට ම සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 10–20ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකට සීමා වන බවත් මෙය පැහැදිලිව ම විශාල විෂමතාවක් ඇති අන්ත දෙකක් බවත් කියා සිටියි.
මෙම විෂමතාව ඉවත් කිරීමේ අවශ්‍යතාව රජයට දැඩි ලෙස පවතින බවත් ඒ සඳහා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ගුරු හිගය නැති කිරීම වැනි සාධනීය පියවර ගන්නා අතර ම පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 30-35 වැනි උචිත මට්ටමක පවත්වාගෙන යමින් පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා පරිවර්තනීය වෙනසක් අධ්‍යාපන පද්ධතිය තුළ ගොඩනැගීමට උත්සාහ කරන මොහොතක කිසි දු දරුවෙකු හෝ පාසලක් අතනොහැරෙන පරිදි ඉදිරි නායකත්ව පරපුර බිහි කිරීමට උත්සාහ කිරීම අප සියලු දෙනාගේ ම සාමූහික වගකීමක් බවත් මෙම ක්‍රියාදාමය සිදු කිරීම එක් අයෙකුට පමණක් තනි ව කළ නොහැකි අතර ඒ සඳහා සියලු දෙනාගේ ම සහයෝගය අවශ්‍ය බවත් ඇමතිතුමිය අවධාරණය කළා ය.
කල්මුණේ අල් අස්‍රක් විදුහලේ සහ අම්පාර ඩී. එස්. සේනානායක විදුහලේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ව කල්මුණේ සමන්තුරේ සහ අම්පාර කලාප වලට අයත් පාසල් 01 සහ 06 ශ්‍රේණි වල ගුරුවරුන් දැනුවත් කිරීමත් සහ දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වුණු අතර අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යායේ දී විදුහල්පතිවරුන් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය.
