අධිකරණ සේවයේ 20ක් රාජකාරිවලින් ඉවතට

ඉවත් කළ පිරිසට මහාධිකරණ විනිසුරුවරයෙකුත්, හතකගේ සේවය අවසන් කරලා

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවයේ නිලධාරීන් විසි දෙනකු සිය රාජකාරීවලින් ඉවත් කර ඇතැයි ආරංචි මාර්ග පැවසූ බව අද (03) ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

එලෙස රාජකාරිවලින් ඉවත් කළ පිරිසට එක් මහාධිකරණ විනිසුරුවරයෙක්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් කිහිප දෙනෙක් අයත් බව එම පුවතෙහි සඳහන් වනවා. රාජකාරිවලින් ඉවත් කළ මෙම 20 දෙනාගෙන් හත් දෙනකුගේ සේවය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත්, සෙසු නිලධාරීන් වැඩ තහනම් කර ඇති හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ලක් කර ඇති බවත් එහි සඳහන්.

අධිකරණ සේවා කොමිෂන් සභාව මෙම පිරිස රාජකාරිවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ, අධිකරණ සේවයේ නිලධාරීන් පිළිබඳව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීමෙන් පසුව බවයි පවසන්නෙ.

දූෂණ වැනි බරපතල චෝදනා එල්ල වූ අය සම්බන්ධයෙන් නිල වශයෙන් චෝදනා පත්‍ර භාර දී පරීක්ෂණ පවත්වා තිබෙන බවත්, අදාල පරීක්ෂණවලින් පසුව චෝදනාවලට වරදකරු වූවන්, අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් රාජකාරියෙන් ඉවත් කර ඇති බවත් ලංකාදීප වාර්තා කර තිබේ.

වර්තමානයේ මහාධිකරණයේ පුරප්පාඩු 10ක් හා මහේස්ත්‍රාත් හා දිසා අධිකරණයන් හි පුරප්පාඩු 60ක් ඇති බව වාර්තා වේ. මේ කිසිම තනතුරකට චෝදනා එල්ල වූ කිසිවෙකු බදවා නොගන්නා බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

Social Sharing
නවතම පුවත්