අධිකරණයේ සහ නීතිඥයින්ගේ ගැටලු විසඳීම තුළින් පමණක් නඩු ප්‍රමාදය වළක්වා ගන්න බැහැ – නීතිඥ දුලාන් දසනායක

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකදීම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 248 වැනි කතිකාව ‘නඩු ප්‍රමාදය අවම කිරීම යතාර්ථයක් කර ගැනීම සඳහා ගත යුතු ප්‍රවේශයන් මොනවා ද ?’ යන තේමාව යටතේ පසුගිය දා පැවැත්විණි. මෙවර කතිකාව සංවාදයේ සම්පත්දායකයින් ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා සහ නීතිඥ දුලාන් දසනායක මහතා සහභාගී වූ අතර නීතිඥ ගයත්‍රී නවරත්න මහත්මිය විසින් සංවාදය මෙහෙයවනු ලැබුවාය. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

‘යුක්තිය ඉටුවීම ප්‍රමාද වීම යුක්තිය ඉටු නොවුණා හා සමානය’ යනුවෙන් නීති ක්ෂේත්‍රය තුළ ප්‍රකට කියනමක් තිබෙන අතර ජනතාවගේ අපේක්ෂාව වන්නේ ද කඩිනමින් යුක්තිය ඉටුවනු දැකීමය. එහෙත් අධිකරණ ක්ෂේත්‍රය තුළ පවතින ප්‍රායෝගික ගැටලු සහ දුෂ්කරතා හේතුවෙන් නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාද වන අතර එය කඩිනමින් විසඳා ගත යුතු ගැටලුවක් බවට පත්ව තිබේ.

කතිකාවට එක් වෙමින් නීතිඥ දුලාන් දසනායක සඳහන් කළේ ‘නඩු ප්‍රමාදය දීර්ඝ කාලයක් පුරා පවතින ගැටලුවක්’ බව කවුරුත් පිළිගන්නා බවයි. පසුගිය කාලය පුරා බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර ඔවුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන වල නඩු ප්‍රමාදය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බවට ප්‍රතිඥා දී ඇති බව ද නීතිඥ දුලාන් මෙහිදී සිහිපත් කළේය.

  • අලි සබ්‍රිගේ භූමිකාව

“වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවත් නඩු ප්‍රමාදය අවම කිරීමට පියවර ගන්නා බවට පොරොන්දුවක් ලබා දී තිබෙනවා” යැයි පෙන්වා දුන් නීතිඥවරයා නඩු ප්‍රමාදය අවම කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට වඩාත් ප්‍රායෝගික පියවර ගත් අධිකරණ අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අලි  සබ්‍රි මහතා බව ද පෙන්වා දුන්නේය.

නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා වර්තමානයේ දී ගෙන ඇති පියවර පැහැදිලි කරමින් නීතිඥ දසනායක පෙන්වා දුන්නේ මේ වන විට ඒ සම්බන්ධ පැහැදිලි ප්‍රගතියක් දැක ගැනීමට හැකි බවයි.

ඔහු තම අදහස තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද සඳහන් කළේය, “අලි සබ්‍රි මහතා නඩු ප්‍රමාදය අවම කිරීම වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් දියත් කළත් මේ ගැටලුවට තිරසර විසඳුමක් ලබා දෙන්න නොහැකි වුණා. ආර්ථික අර්බුදය ඒකට ප්‍රධාන හේතුවක් විය හැකියි. ඊට පසුවත් USAID ආධාර යටතේ විශාල වැඩ කොටසක් කළා, නව අධිකරණ ඉදිකළ අතර වීඩියෝ පටිගත කිරීමට ඇතුළු නවීන තාක්ෂණික පහසුකම් ලබා දුන්නා. නමුත් මේ වන විට එම වැඩපිළිවෙළ නතර වෙලා තිබෙනවා. මේ වන විට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළේ වැදගත්ම ලක්ෂණයක් තමයි අගවිනිසුරුතුමාගේ සහභාගීත්වයෙන් මේ සම්බන්ධ සාකච්ඡාවක් ඇති වීම සහ ඒ සම්බන්ධයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වීම. මම දන්නා ආකාරයට අධිකරණ සේවා කොමිෂම මේ වන විට සියලුම විනිසුරුවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් දීලා චක්‍ර ලේඛයක් නිකුත් කරලා තියෙනවා. විනිසුරුවරුන් මේ උපදෙස් පිළිගන්නා බව අපට ප්‍රායෝගිකව දැක ගන්නත් පුළුවන්. නීතිඥයින් නඩු කල් දමන ලෙස ඉල්ලීම් කළත් ඒවාට ඉඩ නොදීම සහ ඇතැම් නඩු එදිනම සමථකරණය කිරීම අපට දැන් දැක ගන්න පුළුවන්. මේ අනුව නඩු අවසන් කිරීම සඳහා සැලකිය යුතු වැඩපිළිවෙළක් දියත්ව ඇති බව අපට මේ වන විට දැක ගන්න පුළුවන්”.

  • නිර්මාණාත්ම පියවර

මේ වන විට ඇතැම් උසාවි නඩුවේ පියවරයන් පරිඝණක ගත කිරීම ආරම්භ කර ඇති බවත් මේ හරහා කාලය සැලකිය යුතු ලෙස ඉතිරි වන බවත් නීතිඥවරයා කීවේය.

“මේක ඉතාම ධනාත්මක වැඩක්. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන උසාවි වල හවසට නීතිඥයින්ට වට්ස්අප් හරහා නඩුවට කුමක් ද වුණේ, එහි ඉදිරි පියවර මොකක්ද කියලා දැන ගන්න සලස්වා තිබෙනවා. මේ හරහා ඉදිරියට කළ යුතු කුමක්ද කියලා නීතිඥයින්ට දැන ගැනීමට අවස්ථාව හිමිවෙනවා. ඒ වගේම අදාළ උසාවියේ නොසිටියත් නඩුවට අදාළ ඉදිරි පියවර ගැන ඉතා කෙටි කාලයක් තුළ අදහසක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. කාල කළමනාකරණයට අදාළ සමහර පොඩි වැඩ ටිකක් සමහර උසාවි නිර්මාණශීලීව කරමින් සිටිනවා” නීතිඥ දුලාන් සිය අත්දැකීම් ඇසුරින් තව දුරටත් පැහැදිලි කළේය.

  • අධිකරණය පමණක් ප්‍රමාණවත් ද ?

නඩු ප්‍රමාදය වැළැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ‘අධිකරණ ක්ෂේත්‍රය පමණක් කටයුතු කිරීම ප්‍රමාණවත් ද ?’ යන සංවාදයක් නිර්මාණය වී තිබෙන බව නීතිඥ දුලාන් දසනායක මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි පියවරක් හරහා නීති ක්ෂේත්‍රයට පමණක් පාලනය කරගත හැකි දේට පමණක් විසඳුම් ලැබෙන බව පෙන්වා දුන් දුලාන් බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන තවත් ගැටලු ගණනාවක් ද තිබෙන බව ද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ නීතිඥ දුලාන් දසනායක මෙසේ ද සඳහන් කළේය, “අපි බොහෝ දෙනෙක් කතා නොකරන තවත් ගැටලු ගණනාවක් තිබෙනවා. ඒ අතර තිබෙන, නමුත් සාකච්ඡා නොවන බරපතළ ගැටලුවක් තමයි මිනින්දෝරු මහත්වරුන්ගේ ගැටලු සහ ප්‍රමාදයන් හේතුවෙන් ඉඩම් නඩු ඇතුළු නඩු ප්‍රමාදයන් බහුලව සිදුවෙනවා. මෙවැනි තාක්ෂණික ගැටලු විසඳා ගැනීමට වෙනත් ක්‍රමයක් නැහැ. මේ ආකාරයෙන් අධිකරණමය කටයුතුවලට සම්බන්ධ ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ නිසා අධිකරණ ක්ෂේත්‍රයට පමණක් හුදකලාව මේ ගැටලුව විසඳා ගන්න බැහැ. ඒ සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතුයි. ආණ්ඩුවේ ද ඍජු මැදිහත් වීම මත සිදුවන පුළුල් ක්‍රියාවලියක් හරහා පමණයි නඩු විසඳීම තුළ සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ. නීතිඥවරුන්ගේ සහ අධිකරණයේ ප්‍රශ්න පමණක් විසඳීම තුළින් මේ ගැටලුවට තිරසාර විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ” නීතිඥ දුලාන් දසනායක වැඩි දුරටත් සඳහන් කළේය. 

සංවාද සටහන – තුෂාල් විතානගේ

මෙම ලිපිය 31/11/2025 දින අනිද්දා පුවත්පතේ පලවිය.

 

Social Sharing
අවකාශය නවතම