සිවිල් සමාජ වෘත්තිකභාවය ගොඩනැගීම වෙනුවෙන් කැප වූ සමන් – පිලිප් දිසානායක

හෙට (ඔක්තෝබර් 30) සවස 3ට, කොළඹ 7, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී කෘතවේදීත්වයේ මොහොතක් යන මැයෙන් සමන් හමන්ගොඩ අනුස්මරණ වැඩසටහනක් පැවැත්වීම සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව සැලසුම් කර තිබේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි,

කවුද මේ සමන්,

1960 ජනවාරි 07 මහනුවර හල්ලොළුවේ දී උපන්, ඩන්කන් අල්විස් හමන්ගොඩ හෙවත් ඩී.ඒ හමන්ගොඩ උපැන්නයේ සඳහන් නොවන නමකින් පසුව ප්‍රසිද්ධ විය. ඒ දෙමාපියන් ආදරයට කතා කළ සමන් යන නාමයෙනි, පසුව එ් නමට තවත් කොටසක් එක්වී ආදරණීය පැල්ට්‍රා සමන් නමින් ඔහු තවත් ප්‍රසිද්ධ විය.

පැල්ට්‍රා සමන්, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශයක ඉපිද, විවිධ දුෂ්කරතා මධ්‍යයේ නිදහස් අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාල වරම් ලබමින් වානිජවේදී උපාධිධාරියෙකු ලෙසත් පසුව පිරිවෙන් ගුරුවරයෙකු, වෘත්තීය පුහුණු කරුවෙකු ලෙසත්, සිවිල් සමාජයේ නායකයෙකු ලෙසත් ඔහු විවිධ තලයන් හි කටයුතු කළාය. මේ කාලය තුළ තිරසරභාවය සහිත සිවිල් සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීම වෙනුවෙන් සමන්, තම ජීවිතයෙන් වැඩි පංගුවක් මිඩංගු කොට තිබුනි. සම්ප්‍රදායික දේශපාලනය මෙන්ම, සම්ප්‍රදායික රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය පිළිබදව ද ඔහුට දැඩි විවේචනයක් තිබුනි. එමෙන්ම, පැවති එම රාමුවෙන් මෙම සංවිධාන එලියට ගන්නට සමන් සැලකිය යුතු වෙහෙසක් ද ගනු ලැබුවාය.

තිරසාර භාවය සහිත වෘත්තීමය රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීම සමන්ගේ ප්‍රධාන ඉලක්කය විය. ඒ සඳහා සහභාගීත්ව ග්‍රාමීය තක්සේරුව (Participatry Rural Appraisal – PRA) නැමති වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සදහා සමන් කැපවීමෙන් කටයුතු කරන තිබුනි.

කුරුණෑගල දේවසරණ සංවර්ධන කේන්ද්‍රය මෙන්ම කන්තලේ නැගෙනහිර කාන්තා සංවිධානයේ සිට විවිධ ග්‍රාමීය සංවිධානයන් හි තිරසරභාවය ගොඩනැගීම වෙනුවෙන් ඔහු විශේෂ කැපවීමකින් කටයුතු කළේ ඒ අරමුණනි. මෙම ග්‍රාමීය සංවිධාන ජාතික තලයේ සංවිධාන දක්වා ඉදිරියට ගෙන ඒමට සමන් කැපවීමෙන් කටයුතු කළාය.

තිරසරභාවය සහිත, තවෘත්තීමය රජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වයක් නිර්මාණය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව පසු කාලීනව සමන් අවබෝධ කර ගෙන තිබුනි. රාජ්‍ය නොවන සංවිධාන සංකෘතියෙන් ගැලවීමට බොහෝ සංවිධාන උත්සාහ නොකිරීම හේතුවෙන් ඒ පිළිබඳව සමන්ට විශාල කළකිරීමක් පැවතුණි. ඔහුට රාජ්‍ය නොවන සංවිධාන පිළිබදව විරෝධයක් නොතිබුනත්, මෙම සංස්කෘතිය වෙනස් නොකර සමාජ පරිවර්තනයක් සිදු කළ නොහැකි බව සමන් දැඩිව විශ්වාස කළාය. මේ හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන පිළිබදව ඔහුගේ එතෙක් පැවති කැපවීම හා උනන්දුව ක්‍රමයෙන් හීන වූ අතර, එම ක්ෂේත්‍රෙයන් ක්‍රමයෙන් ඉවත්වීමට ඔහු කටයුතු කළාය.

 

ශිෂ්‍ය හා විශ්ව විද්‍යාල ජීවිතය

සමන්, නුගවෙල ප්‍රථමික (පිරිමි) විද්‍යාලය හා නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ වානිජ විෂය ධාරාවෙන් උසස් පෙලට පෙනී සිටීමෙන් පසුව, 1980 දී කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව 1984 වර්ෂයේ දී වානිජවේදී උපාධිය (B.Com) ලබා ගන්නා ලදී.

ඉන් පසුව තම වෘතීය සුදුසුකම් සපුරා ගැනීම සඳහා ප්‍රජා සංවර්ධනය පිළිබඳව පශ්චාත් ඩිප්ලෝමාව කොළඹ විශ්ව විද්‍යලයෙනුත්, ගැටුම් කළමණාකරණය පිළිබඳව ශ්‍රාස්ත්‍රපති උපාධිය (MA) කාම්බෝජයේ ජාතික විශ්ව විද්‍යාලයෙනුත් සමන් විසින් ලබාගෙන තිබුනි.

ශිෂ්‍ය අවධියේ සිටම සමන් දේශපාලන උනන්දුවකින් පෙළුන තරුණයෙකු වූ අතර, 1977 පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වීරසුරිය ශිෂ්‍ය ඝාතනය එරෙහිව පැවති විරෝධතාවය සඳහා නුගවෙල මධ්‍යමහා විද්‍යාලයේ සිසුන්ද එක් වී ඇති අතර, සමන් එම විරෝධතාවයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කර තිබේ.

අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද ඇලුම් කළ සමන් කරාටේ ක්‍රීඩාවේ කළු පටි II වන ශ්‍රේණිය දක්වා මාස්ටර් ජී.ඒ.ටී  ලිවේරා යටතේ ප්‍රගුණකර තිබේ. කැළණිය විශ්ව විද්‍යාලයේ දී ඔහු රගර් ක්‍රීඩාවට ද සම්බන්ධ වී ඇති අතර, වි. විද්‍යාල අවසාන වසරේ දී ඔහු රගර් කණ්ඩායමේ නායකත්වයට පවා පත්ව තිබුනි.

එමෙන්ම, කැළණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධව වීමෙන් පසුව සමන් තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග ජවිපෙ ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජවාදී ශිෂ්‍ය සංවිධානයට සම්බන්ධ වී ඇති අතර, අවසාන වසරේ දී එහි සභාපති ලෙසද කටයුතු කර තිබේ. ජවිපෙ දේශාපාලනය කෙරෙහි සමන්ගේ විශේෂ ඇල්මක් පැවතියත්, විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසුව එහි ක්‍රියාකාරී දේශපාලන කටයුතු වල යෙදෙන බවක් පෙනෙන්නට නොතිබුනි.

 

පාසැල් ප්‍රේමය විවාහයෙන් කෙළවර වීම

නුගවෙල මධ්‍යමහා විද්‍යාලයේ ඉගනුම ලබන අවධියේ දී නුගවෙල බාලිකා විද්‍යාලයේ ඉගැනුම ලැබූ කළුගම්මන සුදර්මා මාලනී සමග නමය පන්තියේ සිට ඇති වූ ප්‍රේම සම්බන්ධතාවය 1989 වසරේ දී විවාහයෙන් කෙළවර විය.

මේ දෙපලගේ මංගල්‍යයත් සුවිෂේෂී මංගල්‍යක් වී තිබේ. ජවිපෙ දෙවැනි කැරැල්ලේ බිහිසුණුම කාලය සිදු වූ මෙම මංගල්‍යයට පෙර දින සුදර්මාගේ (සමන්ගේ බිරිද) නිවසේ සැරසිලි කරමින් සිටි අවස්ථාවේ එහි පැමිණි හමුදා කණ්ඩයක් විසින් සුදර්මාගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසුව සමන් හා සුදර්මාගේ මල්ලී අත්අඩංගුවට ගත යුතු බව පවසා තිබේ. සමන් කසාදය පසු දින පැවැත්වෙන බව පැවසීම නිසා සමන් නිදහස් කර ඇතත්, පැමිණි පිරිස විසින් සුදර්මාගේ මල්ලි රැගෙනගොස් තිබේ.

එදා පැවති වාතාවරණය අනුව එසේ තරුණයෙකු අත්අඩංගුවට පත්වීම අවමංගල්‍ය සලකුණක් වුවත්, අවසානයේ පසු දින පැවැත්වීමට සුදානම් කර තිබූ මංගල උත්සවය ඒ අකාරයට පැවැත්වීමට සමන් තීරණය කර ඇත. එහි දී කිසිවෙකු බලාපොරොත්තු නොවු ලෙසින් සුදර්මාගේ මල්ලී මංගල්‍ය උත්සවයට පැමිණ ඇති අතර, මනාල යුවලට සුබ පතා ඔහු නැවත පොලීසිය වෙත පැමිණ තිබේ. ඉන් දෙසතියකට පමණ පසුව සුධර්මාගේ සොයුරා නිදහස් කර තිබුනි.

විවාහයෙන් පසුව සමන්ට හා සුදර්මාට දරුවන් දෙනෙකු සිටින අතර පුතා දමිත්‍ර හමන්ගොඩ – ජපානයේ මොටර් කාර්මික ශිල්පියෙකු ලෙස පුහුණුව ලබා දැනට ජපානයේම සේවය කරන අතර, දුව පාලිකා මධුෂානි සමාජ වැඩ පිළිබදව උපාධිධාරනියක් වන අතර රැකියාවක් අපේක්ෂාවෙන් පසුවේ.

 

සමන්ගේ වෘත්තීමය ජීවිතය

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ගෙදර පැවති බලවත් ආර්ථික දුෂ්කරතා හෙතුවෙන් සමන් පළමු රැකියාව ලෙස  පේරාදෙනිය සාරානන්ද පිරිවෙනේ වානිජ විද්‍යා ගුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඒ 1985 වසරේ දී පමණය.

ඉන් පසුව 1987 වසරේ දී සණස මහනුවර දිස්ත්‍රික් ණය නිලධාරී ලෙස මහනුවර කාර්යාලය සම්බන්ධ වේ. පසුව මහනුවර දිස්ත්‍රික් ණය කළමණාකරු ලෙසත්, කොළඹ මහ සංගම් කාර්යාලයේ ණය කළමණාකරු බවටත්, ඉන් පසුව සණස කැම්පස් හි පුහුණු කළමණාකරු ලෙසත් සමන් පත් වේ.

1995 වසරේ දී සණස ආයතනය නියෝජනය කරමින් Participatory Rural Appraisal (PRA) පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහන සදහා සමන් සහභාගී වේ. Swiss Intercoperation විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව එහි අධ්‍යක්ෂිකා Dorathy Rojant හා නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය මල්ලිකා සමරණායක විසින් මෙය සංවිධානය කර තිබුනි. සණසේ සිට ලැබූ මෙම පුහුණුව සමන් සණසෙන් ඉවත්වීමට හේතු වී ඇති බව වාර්තා වේ.

පසු කලයක දී Swiss Intercoperation ආයතනය ශ්‍රී ලංකාවේ කටයුතු අවසන් කරන අතර, PRA වැඩසටහන් ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට අවශ්‍ය වී ඇත. ඒ අනුව මල්ලිකා සමරණායක මියගේ මූලිකත්වයෙන් The Institute of Participatory Interactive Development – (IPID) ආයතන ලංකාවේ පිහිටවනු ලැබූ අතර, 1996 දී සමන් එහි PRA ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස පත් වේ.

ඉන් පසුව 1998 දී පුහුණු කළමනාකරුවෙකු ලෙස පැල්ට්‍රා ආයතනයට සම්බන්ධ වන සමන් 2005 වසරේ දී එහි විධායක අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත. කෙසේ වුවත් අවසාන කාලයේ පැල්ට්‍රා ආයතනයේ ඔහු පසු වූයේ යම් හෙම්බත් වීමක් සමගය. එහි ප්‍රථිපලයක් ලෙස 2016 දී ඔහු පැල්ට්‍රා ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ධූරයන් වැඩසටහන් අධ්‍යක්ෂක ලෙසත්, 2023 සිට නැවත එහි උපදේශකයෙකු ලෙසත් කටයුතු කර ඇත.

 

පන්විල තරුණ සමාජය (ADFAC)

2000 වසරේ දී මහනුවර ඇලියද්දේ පර්යේෂන වැඩසටහනක් Integrated Technology Development Group (ITDG) ආතනයේ සහායෙන් සමන් ආරම්භ කරයි. අති දුෂ්කර ගම්මනායක් වූ එහි ගමනාගමන ගැටළු, පානීය ජල ගැටළුව, තරුණ, වැඩිහිටි, දරුවන් සදහා පුස්තකාලයක් නිර්මාණය කිරීම වැනි ගැටළු විසදා ගැනීම සදහා පර්යේෂන ව්‍යාපෘතිකයක් මෙම ITDG ආයතන සමග සමන් ආරම්භ කර තිබුනි. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඇලියද්ද ගමට කි.මි 4ක් දිග වැලි පාරක් සකස් කිරීම, ගුරුත්ව බලයෙන් ක්‍රියාත්මක කුඩා ජල ව්‍යාපෘතියක් එහි ආරම්භ කිරීම හා පුස්තකාලයක් ආරම්භ කිරීමට සමන් ඇතුළු කණ්ඩායමට හැකි විය. මින් PRA වැඩසටහන ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය යොමු කිරීමට සමන් උත්සාහ කර තිබේ.

ඉන් පසුව මෙම වැඩසටහන සමන් සම්බන්ධ වී සිටි පන්විල Arina for Development Facilitators – ADFAC නැමති තරුණ සමාජය හා ඒකාබද්ද කර තිබේ. සියළු ජාතීන් නියෝජනය කරන ස්වාධීන තරුණ ක්‍රියාකාරීත්වයක් නිර්මාණය කිරීම සදහා පන්විල තරුණ කණ්ඩායමත් සමග සමන් සෑහෙන කාලයක් ඉතා වෙහෙසකර ක්‍රියාවන් රාශියක් සිදු කර තිබේ. විශේෂයෙන් සාම්ප්‍රදායික් රාජ්‍ය නොවන සංවිධාන මානසිකත්වයෙන් මිදී, ගමන් වියදම් ලබා නොගෙන කටයුතු කරන තරුණ කණ්ඩායමක් ගොඩ නැගීම එහි අරමුණව ඇත.

එමෙන්ම. එම කණ්ඩායමේ සිට තරුණ තරුණියින්ගේ ධාරිතා වර්ධනය, උසස් අධ්‍යාපනයට යොමු කිරිමත්, වෘත්තීය නිපුනත්වය උසස්  කිරීමත් සදහා ද සමන් සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබුනි.

 

ස්වාධීන සිවිල් ව්‍යපාරයන් ගොඩනැගීම වෙනුවෙන් සමන්ගේ කැපවීම

රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේ විශාල අත්දැකීම් රාශියක් මෙන්ම, තම වෘත්තීය කටයුතු හේතුවෙන් බොහෝ රාජ්‍ය නොවන සංවිධානයන් හි සැලකිය යුතු තොරතුරු සමන් සතුව පැවති නිසාත්, එම සංවිධනයන් හි සම්ප්‍රදායික ක්‍රියාකාරීත්වයන් පිළිබදව සමන් කල කිරීමට පත්ව තිබුනි. ඒ හේතුව මත එම ක්ෂේත්‍රයෙන් සමන් ක්‍රමයෙන් ඉවත් වෙමින් සිටින බවක් දක්නට ලැබුනි. රාජ්‍ය නොවන ක්ෂේත්‍රය සම්බන්ධව තමන් සතු තොරතුරු අලලා ප්‍රකාශණයක් සකස් කිරීමට ද සමන්ට අවශ්‍යතාවයක් පැවතුණි.

සමන්, සම්ප්‍රදායික ක්‍රමවලින් මිදුන ස්වාධීන සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීම වෙනුවෙන් විවිධ ක්‍රියාකාරීත්වයන් හි ස්වේච්ඡාවෙන්ම නිරත විය. ඒ සදහා තමුන්ගේ මුදල් මෙන්ම වටිනා කාලය ද නිර්ලෝභීව වැය කලාය.

අනුව දශකය අග භාගයේ දී නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සදහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා ජනතා ක්‍රියාකාරීත්වය ( PAFFREL) හා නිදහස් හා සාධාරණ මැතිවරණය ව්‍යාපාරය (MFFE) මැතිවරණ නිරීක්ෂකයින් පුහුණු කිරීම සදහා සමන් ස්වේච්ඡාවෙන් මැදිහත් වූ අතර, MFFE ක්‍රියාකාරීත්වය යළි පණ ගැන්වීම සදහා සදහා විශාල වැඩ කොටසක් සිදු කර තිබුනි.

ඊට සමගාමීව යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් 2014 වර්ෂයේ දී පමණ සිවිල් සංවිධාන රාශියක් එකතු කරමින් මාර්තු 12 ව්‍යාපාරය ගොඩනැගීමටත්, එහි කටයුතු ඉදිරියට ගෙනයාම සදහාත් විශාල දායකත්වයක් සමන් ලබා දෙන ලදී.

මේ අතර ජාතික සමගිය හා ප්‍රථිසංධානය ඉලක්ක කරමින් විදේශගත ශ්‍රී ලංකිකයින් හා ලංකාවේ සිවිල් සංවිධානා ඒකාබද්ධ කරමින් පුළුල් බහුජන ව්‍යාපාරය නැමති සංවිධානය ගොඩනැගීම සදහා ද සමන් මූලිකත්වය ගත්තේය.

ඔහුගේ අවසාන කාළය සිවිල් හා රාජ්‍ය නොවන සංවිධානය ජාතික එකමුතුවේ කටයුතු වෙනුවෙන් වැය වූ අතර, ඉතා කෙටි කාලයක් තුළ එම එකමුතුවේ කේන්ද්‍රීය වගකීමක් දරමින් ඔහු කවදත් කැමති භූමිකාවක යෙදීමට අවස්ථාව ලබා ගත්තේය.

අපේ රටේ NGO ගැන සමන් තරම් දන්නා කෙනෙකු නැති තරම්ය. ඔහු තුළ ගොඩනැගී තිබුණේ NGO විරෝධයක් නොව, එම සංස්කෘතිය පිළිබඳ කලකිරීමකි. NGO සංස්කෘතිය වෙනස් නොකර සමාජ පරිවර්තනයක් කළ නොහැකි බැව් ඔහු දැඩිව විශ්වාස කළාය.

හදිසියේ ම මොළය ආශ්‍රිතව ඇතිවූ සෞඛ්‍ය ගැටලුවක් හේතුකොට ගෙන රෝගී වූ සමන් බරපතළ සැත්කමකටද භාජනය විය. සැත්කමෙන් අනතුරුව සුවය ලබමින් සිටියද, පසුව ඇතිවූ සංකූලතා හේතුවෙන් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමෙන් පසුව, 2025 මාර්තු 31 දින මෙලොව ජීවිතයෙන් සමුගත්තේය.

ඔහු තබා වෙනත් කිසිවෙකු නොසිතූ මොහොතක ඔහු සදහටම නිහඬ කළාය. අවංකකම සමාජ වගකීමක් බැව් ජීවිතාදර්ශයෙන් පෙන්වා දුන් හිතවත් සමන් ඔබට සදාකාලික සුව නින්දක්!

(සමන් ගැන කෙටි වීඩියෝවක් සකස් කිරීම මට පැවරුන නිසා ඔහු ගැන තව දුරටත් සොයා බැලීමට සිදු විය. එහි දී සොයාගත් කරුණු  මුල්කර ගනිමින් මෙම ලිපිය සකස් කෙරින. හෙට ඉදිරිපත් කෙරෙන වීඩියෝව කෙටි එකක් නිසා ඊට බොහෝ කරුණු ඇතුලත් කිරීමට නොහැකි විය. නමුත්, ඉදිරියේ දී මේ සම්බන්ධව තවත් නිර්මායණක් සිදු කිරීමට අදහස් කර තිබේ. ඒ සදහා ඔබේ සහාය අවශ්‍යයි. සකස් කළඇති වීඩියෝවට හෙට සිට ඔබට ප්‍රවේශ විය හැක. මේ සම්බන්ධව ඔබගේ අදහස් යෝජනා විවේචන අගය කොට සලකමි – පිලිප් දිසානායක)

Social Sharing
අවකාශය නවතම