මරණ දණ්ඩනය නියමවී ඇති රැඳවියන් ප්‍රමාණය 826ක් !

මේ වන විට බන්ධනාගාර 36ක තුළ තිස් හයදහස් හත්සිය විසිඅට දෙනකු (36,728) රඳවා ඇති බවත්, ඉන් මරණ දණ්ඩනය නියමවී ඇති රැඳවියන් ප්‍රමාණය 826 දෙනකු බව බන්ධනාගාර වාර්තා සඳහන් කරයි. මරණ දණ්ඩනය නියමවී ඇති පිරිස අතර පිරිමි පුද්ගලයන් 805 දෙනකු හා කාන්තා රැඳවියන් 21 දෙනකු සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි.

මේ අතර මරණ දණ්ඩනය නියමව අභියාචනා කර ඇති ප්‍රමාණය 393ක් වන බවත්, ඒ පිරිසෙන් 387ක් පිරිමි පුද්ගලයෝ බවත් 06 දෙනෙකු කාන්තා රැඳවියෝ බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති බන්ධනාගාර 36 තුළ සිටින රැදවියන් අතරින් සියයට හැටපහක් (65%) පමණ දෙනා මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්වූවෝ වෙති. බන්ධනාගාර දෙපාර්තමේන්තුව දෛනිකව එක් රැඳවියකුට රුපියල් 1400ක් පමණ වැය කරනු ලබයි. ඒ අනුව රජය දිනකට රුපියල් කෝටි 5කට වැඩි මුදලක් බන්ධනාගාරගතව ඇති රැඳවියන් වෙනුවෙන් පමණක් දෛනිකව වැය කරණු ලබයි.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා තැබිය හැකි සියළු රැඳවියන් ප්‍රමාණය දසදහස් පන්සියයක් පමණ (10,500) වුවත්, මේ වන විට එම ප්‍රමාණය (36,728) හතර ගුණයකට ආසන්න වී තිබේ. ඇප ලබා දිය හැකි චෝදනා සදහා ද ඇප ලබා නොදීමේ සංස්කෘතියක් කලක් තිස්සේ ක්‍රියාත්මක අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක වීම නිසා මේ වන විට බන්ධනාගාර පද්ධතියට කිසිසේත් දරාගත නොහැකි පරිපාලන ගැටළු, රැඳවියන් සෞඛ්‍ය ආරක්ෂාව ඇතුළු මූලික අවශ්‍යතා සැපරීමට නොහැකි තත්ත්වයක් බන්ධනාගාර පද්ධිතිය තුළ නිර්මාණය වී තිබේ.

Social Sharing
නවතම පුවත්