ඉෂාරා සෙව්වන්දිට රැකවරණය සැලසීමේ චෝදනාවට, පොලිස් කොස්තාපල්වරයෙක්, එම කොස්තාපල් වරයාගේ බිරිඳගේ මව සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මතුගම ශාන්ගේ සමීපතමයෙකු පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනා.
ගනේමුල්ලේ සංජීව ඝාතනය කළදා රාත්‍රියේ ඉෂාරා සෙව්වන්දි නවාතැන්ගෙන තිබුණේ වැලිපැන්න ප්‍රදේශයේ නිවෙසක බව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා. ඒ අනුව, ඉෂාරා සෙව්වන්දිට සැඟව සිටීමට පහසුකම් සැපයීමත්, රැකවරණය ලබාදීමත් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු සිව් දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 17දා අත්අඩංගුවට ගනු ලැබුවා.
අදාල නිවෙස් හිමි කාන්තාවගේ පුත්‍රයා ‘මතුගම ශාන්’ ගේ ළඟම හිතවතෙක් බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. ඒ හේතුවෙන් ‘මතුගම ශාන්ගේ’ ඉල්ලීම මත සැකකාරිය එදින තම නිවෙසේ සෙව්වන්දිට නවාතැන් දී තිබූ බව වාර්තා වෙනවා.
අනතුරුව පසු දින සිට මාස එකහමාරක පමණ කාලයක් ඇය සැඟව සිට ඇත්තේ දොඩංගොඩ වෙනත් අයකුගේ නිවෙසකයි. එම නිවසේ හිමිකරු ද ‘මතුගම ශාන්ගේ’ පාසල් මිතුරෙක් බව ද සඳහන්. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඔහුව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මතුගම ශාන් කුමන පක්ෂයේද ?
‘මතුගම ශාන්’ හෙවත් ශාන් අරෝෂ ජයසිංහ යනු කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ක්‍රියාකාරිකයකු බව ඇත්තකි. එහෙත්, පසුගිය සමයේ නිරීක්ෂණය කළ කරුණක් වන්නේ පොහොට්ටුව ඔහුට මතුගම සංවිධායක ධූරයක් පිරිනැමීමට අකැමැත්තක් දැක්වූ බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වන විට පවා මතුගම ආසනයට හරිහමන් සංවිධායකවරයකු නොසිටි අතර ශාන් ඒ වෙනුවෙන් අභිලාෂය ප්‍රකාශ කරමින් නගරය මැද සුබපැතුම් කටවුට් ආදිය දමා තිබෙනු දුටුවෙමු. එහෙත්, පොහොට්ටුවේ රත්තරංලා ඔහුට සංවිධායක ධූරයක් පිරිනැමුවේ නැත.
පසු කලෙක ශාන් ලංකා සමසමාජ පක්ෂය සමග එක්ව කලුතර දිස්ත්‍රික් සංවිධායක ධූරයකට ද පත් විය. ඒ වෙනුවෙන් ඔහු උත්සවාකාරයෙන් මතුගම නගරයෙහි කාර්යාලයක් ද විවෘත කළේය. ඔහු සමසමාජ පක්ෂයේ හිටපු නායක මහාචාර්ය තිස්ස විතාරණ හිටපු ඇමතිවරයාගේ සමීප හිතවතෙකු බව දක්නට ලැබිණි. සමසමාජ බල අරගලයේදී ඔහුගේ සහාය තිස්ස විතාරණ මහතාට ලැබිණි.
ශාන් ජයසිංහ බස්, මූල්‍ය සේවා ආදී ව්‍යාපාර ගණනාවක් පවත්වාගෙන යන අයෙකි. ඔහු ප්‍රදේශයේ බලවත් පුද්ගලයෙකු හා දේශපාලකයකු වේ.
ඔහුගේ පියා පසුගිය පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර පරාජය විය.
පසුගිය සමයේ ශාන් ජයසිංහ ද වෙනත් බොහෝ පොහොට්ටු පාක්ෂිකයන් මෙන්ම ජාතික ජන බලවේගයට හිතවාදී අදහස් පළ කරමින් තිබෙනු නිරීක්ෂණය විය. ඔහුට එරෙහිව බොහෝ චෝදනා තිබෙන මුත් තවමත් ඔහු කිසිදු අධිකරණයකින් වරදකරුවකු වූ පුද්ගලයකු බව දැනගන්නට නැත.
