කඳාන පොලීසිය පුද්ගලයෙකු දින 4ක් රඳවාගෙන කෘෘර වදහිංසාවට භාජනය කරයි.

ජනතාවගේ මූලික අයිතිවාසිකම්, අපරාධ නීති කඩ කිරීම පමණක් නොව මැතකදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිර්දේශ හා පොලිස්පතිතුමාගේ චක්‍රෙල්ඛන කිසිවක් මායිම් නොකරමින්, කඳාන පොලීසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන දින 4ක් තිස්සේ රදවා ගනිමින් කෘෘර වද බන්ධනය කළ පුවතක් අයිතිය වෙත වාර්තා වේ.

34 හැවිරිදි තිලින චානක ප්‍රනාන්දු ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. පසුගිය සැප්තැම්බර් 29 වන දින පාන්දර 2.30ට පමණ කඳාන පොලීසිය විසින් ඔහු නැවතී සිටි කුළී නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ද පොලිස් නිළධාරීන් විසින් චානකට අතින් පයින් පහර දුන් බවත්, තවත් නිළධාරියෙකු විසින් හොස්  බටයකින් ද පහර දෙනු ලැබූ බව චානකගේ බිරිඳ පවසයි.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු දින චානක බැලීම සඳහා ඔහුගේ බිරිඳ හා ගෙහිමියා කදාන පොලීසි වෙත ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනාද කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධව තිලිනගේ මව විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමෙන් පසවු චානකගේ බිරිඳ හා නිවසේ හිමියා ඔක්තෝබර් 1 වන දින මුදා හැර ඇත. නමුත් චානක මුදා හැරීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු කර නොමැත.

තිලින අත්අඩංගුවට ගැනීම පිළිබදව මානව හිමිකම් කොමිෂන් සභාව කඳාන පොලීසියෙන් විමසු අවස්ථාවේ එවැනි අයෙක් තම අත්අඩංගුවේ නොමැති බව පවසමින් මානව හිමිකම් කොමිෂන් සභාව ද නොමග යවා තිබේ.

චානකව දිගින් දිගටම රදවා ගැනීම සම්බන්දව නැවත නැවතත් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසුව මානව හිමිකම් කොමිෂන් සභාව කඳාන පොලීසිය වෙත පැමිණ විමර්ෂන ආරම්භ කර තිබේ. එහි දී පොලීසිය විසින් චානක අත්අඩංගුවට ගත් බව පිළිගෙන ඇති අතර, අද දින (3) ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව පවසා තිබේ. කොමිසම තිළිණගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රථම සැකකරු අධිකරණ වෛද්‍ය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිස් ස්ථානාධිපති වෙත දන්වා තිබේ.

මානව හිමිකම් කොමිසම කඳාන පොලීසිය වෙත පැමිණෙන බව සැලවීමෙන් පසුව කඳාන පොලිසිය විසින් තිලිනට තර්ජනය කරමින් දන්වා ඇත්තේ, ”අපි දැන් මෙතන මයික් එකක් හයිකරනවා, එතකොට උඔ කියන දේ අපිට ඇහෙනවා. ඒ නිසා මානව හිමිකම් කොමිසමෙන් ආවාම උඹ අත්ඩංගුවට ගත්තේ අද කියල කියන්න ඕන”.., යනුවෙන් තරජනය කර තිබේ.

මේ පිළිබදව තිලිනගේ මව අපෙන් විමසා  සිටින්නේ තම පුතාව දින හතරක් තබා ගෙන වදහිංසා කරන්න පොලිසියට අයිතියක් තිබේද?  නීති විරෝධී ලෙස තම  පුතාගේ බිරිඳව හා නිවසේ හිමිකරුව රදවා තබාගන්න පොලීසිය අයිතියක් තිබේද? මානව හිමිකමි කොමිසමට බොරු කියන්න පොලිසියට අයිතියක් තිබේද? යන්නයි. පොලිස්පතිතුමනි කඳාන පොලිසිය කරන මෙවැනි නීති විරෝධි ක්‍රියා ගැන ඔබ ගන්නා ක්‍රියා මාර්ග පිළිබදව අප විමසිල්ලෙන් සිටිමු.

Social Sharing
අවකාශය නවතම