මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දු කළ පොලිස් නිලධාරීන් වහාම සේවයෙන් පහ කරන්න – SLCAT ඉල්ලයි.

 

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දු කළ පොලිස් නිලධාරීන් වහාම සේවයෙන් පහකිරීම සදහා කටයුතු කරන ලෙස වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකික එකමුතුව (SLCAT) ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ලෝක ළමා දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන SLCAT එකමුතුව කියා සිටින්නේ හතරලියද්ද පොලිස් ස්ථානයේ හිටපු වැඩබලන ස්ථානාධිපතිවරයා (OIC) විසින් 16 හැවිරිදි පිරිමි ළමයෙකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම සහ නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කරමින් SC/FR/87/2023 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව අනුව කටයුතු කරමින් මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දු කළ පොලිස් නිලධාරීන් වහාම සේවයෙන් පහකිරීම සදහා කටයුතු කරන ලෙසයි.

අදාල සම්පුර්ණ නිවේදනය පහත,

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානයක,

ජානාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01

2025 ඔක්තෝබර් 01

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දු කළ පොලිස් නිලධාරීන් වහාම සේවයෙන් පහකිරීමට අදාළ ඉල්ලීම

අතිගරු ජනාධිපති තුමණි,

වධහිංසා තුරන් කිරීමටත්, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් කැප වූ මානව හිමිකම් සංවිධාන සහ ආරක්ෂකයින්ගේ එකමුතුවක් වන ශ්‍රී ලංකා වධහිංසාවට එරෙහි සාමූහිකය (SLCAT) ලෙස, SC/FR/87/2023 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව ඔබගේ අවධානය වහාම යොමු කිරීමට කැමැත්තෙමු. එම නඩුවේදී, හතරලියද්ද පොලිස් ස්ථානයේ හිටපු වැඩබලන ස්ථානාධිපතිවරයා (OIC) විසින් 16 හැවිරිදි පිරිමි ළමයෙකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම සහ නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කරන ලදී.

ශ්‍රී ලංකා පොලිස් සේවාව තුළ නැවත නැවතත් දක්නට ලැබෙන මෙම බලය අනිසි ලෙස භාවිතා කිරීමේ ගැටලු සහගත රටාව මෙම තීන්දුවෙන් යළිත් වරක් තහවුරු කරයි. පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නැවත නැවතත් තීන්දු ලබා දී ඇතත්, බරපතළ උල්ලංඝනයන් සිදු කරන නිලධාරීන් බොහෝ විට සේවයේ රැඳී සිටීම කණගාටුවට කරුණකි. මෙම වගවීමක් නොමැතිකම හේතුවෙන් දණ්ඩමුක්තියේ සංස්කෘතියක් පෝෂණය වන අතර, මහජන විශ්වාසය පලුදු වී, නීතියේ ආධිපත්‍යය බිඳ වැටේ.

‘නීතිය සුරකිමු – සාමයට වටිනාකමක් දෙමු’ තේමාව යටතේ පැවති 159 වැනි පොලිස් දින සැමරුමේදී වගවීම පිළිබඳව ගරු ජනාධිපතිතුමා දැක්වූ ප්‍රබල අදහස් අපි අගය කරමු. එම ඉල්ලීමට අනුකූලව, පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් වධහිංසා හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් මගින් කඩ කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරන ලද ඕනෑම පොලිස් නිලධාරියෙකු වහාම සහ ස්ථිරවම සේවයෙන් පහකිරීමට පියවර ගන්නා ලෙස SLCAT ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.

මෙවැනි තීරණාත්මක ක්‍රියාවක් මගින් අනාගත උල්ලංඝනයන් වැළැක්වීමට බලවත් පිටුබලයක් ලබා දෙන අතර, පොලිස් බලකායේ සුපිළිපන්භාවය ශක්තිමත් කරනු ඇත. තවද, එය යුක්තිය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සඳහා ඔබගේ පරිපාලනයේ ඇති කැපවීම ප්‍රදර්ශනය කරනු ඇත.

තවදුරටත් හානියක් සිදු වීම වැළැක්වීමටත්, කිසිදු පුරවැසියෙකුට, විශේෂයෙන්ම ළමයෙකුට, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාර දී ඇති පුද්ගලයන් අතින් මෙවැනි අපයෝජනයන්ට ලක් නොවන බවට සහතික වීමටත්, ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අපි ගරු ජනාධිපතිතුමාගෙන් දැඩිව ඉල්ලා සිටිමු.

ස්තූතියි.
මෙයට විශ්වාසී,
පිලිප් දිසානායක,
ශ්‍රී ලංකා වධහිංසාවට එරෙහි සාමූහිකය (SLCAT) වෙනුවෙන්,

SLCAT Letter – His Excellency Anura Kumara Dissanayake

 

Social Sharing
අවකාශය නවතම