
-BBC-
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මගින් සමලිංගිකත්වය ප්‍රචාරණය නොවන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.
විදේශීය සමලිංගික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් LGBTQ ප්‍රවර්ධනයක් මෙරට තුළ සිදු කිරීමට සංචාරක මණ්ඩලය සූදානම් වන බවට මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇතිව තිබේ.
ඒ, සංචාරක මණ්ඩලය සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වෙත යොමු කළ ලිපියක් හේතුවෙනි.
මෙලෙස එල්ල වන විරෝධයට කාදිනල් මැල්කම් රංජිත් හිමියන් මෙන් ම විපක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් ද එක්ව සිටින අයුරු දැක ගත හැකි ය.
කෙසේ වෙතත්, මෙම වැඩසටහන පිළිබඳව මෙතෙක් සමාජයට හෙළිව නැති බව නිරීක්ෂණය වීම හේතුවෙන් බීබීසි සිංහල සේවය ඒ පිලිබඳ සොයා බැලීමක් සිදු කර ඇත.
“LGBTQ ටුවරිස්ට්ලට ලංකාව ට්‍රැවල් කරන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකක් කියන එක විතරයි අපි තහවුරු කරලා තියෙන්නේ,” යැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.
සමරිසි විදේශිකයන් වෙනුවෙන් විශේෂිත ව්‍යාපෘතියක් හෝ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමක් සංචාරක මණ්ඩලය නොකරන බව ද ඔවුන් සඳහන් කර ඇත.
“පහුගිය කාලේ තිබුණානේ ලංකාවේ LGBTQ අයට සංචාරය කරන්න බැහැ, එහෙම නැත්නම් ඒගොල්ලෝ පීඩාවට පත් වෙනවා වගේ තත්ත්වයක්. ඒ තත්ත්වය නැති කිරීම තමයි අපි කරලා තියෙන්නේ.
“යම් ආකාරයකට ඒගොල්ලන්ව අසමානතාවට ලක් කිරීම, පීඩාවට පත් කිරීම වගේ දේවල් නැහැ, අපේ ඉන්ඩස්ට්‍රි එක ඒගොල්ලන්ව පිළිගන්නවා අනෙකුත් සමාන්‍ය ටුවරිස්ට් කෙනෙක් වගේ ම, ඒගොල්ලන්ගේ අනන්‍යතාවට බාධාවක් වෙන්නේ නැතුව අනිත් සංචාරකයින්ට වගේ ඒගොල්ලන්ටත් විවෘතයි කියන පණිවිඩය තමයි අපිට දෙන්න ඕනේ,” යැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පවසා ඇත.
වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජාතිය, ලිංගික දිශානතිය හෝ වෙනත් කරුණක් මත වෙනස් කොට සැලකීමක් සිදු නොකරන බව සඳහන් බවත්, එම තත්ත්වය සංචාරකයන් හට තහවුරු කිරීමේ අවශ්‍යතාව සංචාරක මණ්ඩලයේ තිබූ බවත්, සභාපතිවරයා සඳහන් කර ඇත.
“ඔය ලියුම ලංකාවේ LGBTQ කමියුනිටි එකේ සමානාත්මතාව වෙනුවෙන් කාර්යයක් ඉටුකරන සංවිධානවල ඉල්ලීමකට අනුව අපි කරපු ප්‍රතිචාරයක්,” යැයි සමාජ මාධ්‍ය තුළ පැතිර යන ලිපිය ගැන සඳහන් කරමින් සභාපතිවරයා පැවසීය.
දැනටත් LGBTQ සංචාරක කර්මාන්තය මෙරට තුළ ක්‍රියාත්මක බව පෙන්වා දුන් සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා විවිධත්වය, සමානත්වය සහ සියලු දෙනා අන්තර්ගත සංචාරක කර්මාන්තය මෙරට තුළ ක්‍රියාත්මක බව පැවසීය.
නීති විරෝධි ක්‍රියාකාරකමක් නොකරන ඕනෑ ම සංචාරයෙකුට කිසිඳු වෙනස්කමකින් තොරව රට තුළ සංචාරය කළ හැකි බව ද, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම් අවධාරණය කළේ ය.
