
බදුල්ල සිට අනුරාධපුර දක්වා වලංගු බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස් රථය පොලිස් අත්අඩංගුවේ තිබිය දී අනීතිකව වෙනත් බස් රථයකින් මඟීන් ප්‍රවාහනය කිරීමේ දී එම බස් රථයත් අද (29) අනුරාධපුර මූලස්ථාන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සිකුරාදා දින දහවල් කාලයේ දී උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතා ඇතුලු සිය ජංගම පරීක්ෂක නිළධාරී කණ්ඩායම සමඟ අනුරාධපුර රථවාහන පොලිසියේ නිළධාරීන් සමඟ කළ වැටලීමේදී මෙම බසය හඳුනාගෙන තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ලබා ගත යුතු මාර්ග බලපත්‍රයක් ලබා නොගෙන පළාත් දෙකක බලපත්‍ර දෙකකින් අනුරාධපුර දුර සේවා බස් නැවතුමට ඇතුළත් නොකර ජංගම දුරකථන මාර්ගයෙන් මගීන් මඟට ගෙන්වාගෙන අතර මඟ සිට බස් රථය අනුරාධපුර සිට බදුල්ලට ද බදුල්ල සිට අනුරාධපුරට ද ධාවනය කර තිබේ. බදුල්ල සිට නිපෝන් පාලම දක්වා ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියෙන් එක් බලපත්‍රයක් ද, අතරගල්ලෑව සිට අනුරාධපුර දක්වා උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියෙන් තවත් බලපත්‍රයක් ද ලබා ගෙන බලපත්‍ර දෙකකින් එකම බස් රථයක් ධාවනය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය විසින් උතුරු මැද පළාතට අදාළ බස් රථයේ ලියකියවිලි මීට සති කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන තිබිය දී නිත්‍යානුකූල මාර්ග බලපත්‍රයක් නොමැතිව බදුල්ල සිට අනුරාධපුර දක්වා මගීන් ප්‍රවාහනය කළ බස් රථය පොලිස් අත්අඩංගුවට ගෙන උසාවි ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වන විට එම බස් රථය සඳහා නඩු 07ක් පොලීසිය මඟින් අවස්ථා ගණනාවකදී පවරා තිබෙන බව ද මෙහිදී අනාවරණය විය.

මෙම බස් රථය කාලයක සිට මෙලෙස බලපත්‍ර දෙකකින් ධාවනය කර තිබේ.
එම බස් රථය පොලිස් අත්අඩංගුවේ පවතින අවස්ථාවක අදාළ බස් රථයට හිමි පළාත් මාර්ග බලපත්‍රයෙන් ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියෙන් වෙනත් බස් රථයකට බස් රථ ආදේශනයක් සිදු කර ගත් බව පෙන්වමින් ඡායා පිටපත් සහිත ලියකියවිලි සමඟ මඟීන් බදුල්ල සිට අනුරාධපුර දක්වා ප්‍රවාහනය කරමින් තිබෙන බවට අනුරාධපුර මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ නිළධාරීන් හා රථවාහන පොලිස් නිළධාරීන් සමඟ අදාළ වැටලීම සිදුකරන ලදී. එම අවස්ථාවේදී බදුල්ල සිට පැමිණ මඟීන් බොහෝ පිරසක් මෙම බස් රථයේ සිටි අතර මෙම බස් රථයට මාර්ග බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කිරීමේ වරද යටතේ රියදුරුගේ රියදුරු බලපත්‍රය අත්අඩංගුවට ගෙන ඉදිරියේදී නඩු පැවරීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලීසිය විසින් කටයුතු කරන ලදී.
ඡායාරූප හා විස්තර තිසර සෝමරත්න
