රුක්මන් ගමගේ නීති ආධාර කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් පදවියට!

Legal Aid Commission of Sri Lanka

රුක්මන් ගමගේ මහතා පසුගිය දා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස පත් කර ඇත. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව, මානව විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂ වේදී උපාධිය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබා ඇති ඔහු, කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් කම්කරු සබඳතා සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය ද ලබා ඇත. මේ වන විට ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධි අධ්‍යයන කටයුතුවල ද නිරතව සිටී.

පෞද්ගලික, රාජ්‍ය නොවන සහ රාජ්‍ය ආයතන කිහිපයකම වගකිව යුතු තනතුරු දරා ඇති ඔහු, 2011 වසරේ පටන්ම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ බාහිර කථිකාර්ය වරයෙකු ලෙස ද, කටයුතු කරන අතර, මෙම තනතුරට පත්වීමට පෙර ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම, වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ද, කටයුතු කර තිබෙනවා.

සිය ධූර කාලය තුළ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සේවාවන් සහ ආයතනික ව්‍යූහය තව දුරටත් කාර්්‍යක්ෂම කිරීමට සහ පුළුල් කිරීමට නව අධ්‍යක්ෂ ජෙනරාල් රුක්මන් ගමගේ මහතාගේ අපේක්ෂා කරයි.

මොකක්ද මේ නීති ආධාර කොමිසම?

අධිකරණයේ පෙනී සිටීම සඳහා මුදල් ගෙවා නීතිඥ සහාය ලබා ගැනීමට හැකියාවක් නොමැති පුරවැසියන් වෙනුවෙන් නීතිඥ සහාය ලබා දීම නීති ආධාර කොමිසම විසින් සිදු කරනු ලබනවා.

හැමෝටම නීති ආධාර ලැබෙනවද?

මෙහි දී මෙම කොමිෂන් සභාව අදාළ ඉල්ලුම්කරුගේ ආදායම් තත්ත්වය සලකා බලන අතර, සාමාන්‍යයෙන්, රුපියල් 25,000 කට අඩු මාසික ආදායමක් ලබන ඕනෑම ශ්‍රී ලාංකින පුරවැසියෙකුට මෙම සේවාව ලබාගත හැකිය. ඒ සඳහා අයදුම්කරු ඔබ පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාගෙන් ලබාගත් ආදායම් සහතිකයක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය.

මුදල් ගෙවන්න ඕන ද?

  • පහත දැක්වෙන, ඇතැම් විශේෂ සහ සංවේදී අවස්ථාවලදී, අයදුම්කරුවන්ගේ ආදායම නොසලකා නොමිලේ නීතිඥ සහාය ලබා දීමට ද, කොමිෂන් සභාව කටයුතු කරයි.
    • කාන්තාවන් සහ දරුවන් සම්බන්ධ නඩත්තු නඩු.
    • ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ නඩු.
    • අපරාධවලට ගොදුරු වූවන් (වින්දිතයන්) සම්බන්ධ නඩු.
    • දරුවෙකුගේ යහපත උදෙසා දෙමාපියන් හෝ භාරකරුවන් විසින් කරනු ලබන ඉල්ලීම්වලට අදාළ නඩු.

නීති ආධාර කොමිෂන් සභාව හරහා නීතිඥ සහාය ලබා ගැනීමේදී, නීතිඥවරයාට ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවේ. එසේ වුව ද, සේවාලාභියෙකු ලෙස නීති ආධාර කොමිෂන් සභාවේ ලියාපදිංචි වීමේ දී, රුපියල් 200ක පරිපාලන ගාස්තුවක් අය කරයි. එහෙත්, අයදුම්කරු නීති ආධාර ඉල්ලා සිටින්නේ නඩත්තු නඩුවක් සඳහා නම්, එම රුපියල් 200 ක ගාස්තුවෙන් ද, ඔහුව හෝ ඇයව නිදහස් කෙරේ. ඒ හැර වෙනත් කිසිදු ගාස්තුවක් මෙහිදී අය නොකෙරේ.

මෙන්න මේ නඩුවලටත් නීති ආධාර ලබාගන්න පුළුවන්

  • • නඩත්තු නඩු
    • රිය අනතුරු සඳහා වන්දි ලබාගැනීමේ නඩු
    • ඉඩම් ආරවුල් සහ නීති විරෝධීව නෙරපීම් සම්බන්ධ නඩු
    • මුදල් ගනුදෙනු සහ අනෙකුත් සිවිල් නඩු (ආදායම් සීමාවට යටත්ව)
    • මූලික අයිතිවාසිකම් නඩු
    • ඇප ලබා ගැනීම්
    • අභියාචනා සහ ප්‍රතිශෝධන නඩු (විශේෂ නීති රීති වලට යටත්ව)
    (බෙදුම් නඩු සහ බූදල් නඩු සඳහා සහාය ලබා දෙන්නේ ඉතා විශේෂ අවස්ථාවලදී පමණි.)

නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල පිහිටා ඇති අතර, දිවයින පුරා බොහෝ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාදේශීය කාර්යාල 80කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මකව පවතී.

කාටද කතා කරන්න ඕන?

පහත ලිපිනයෙන් සහ දුරකථන අංක ඔස්සේ විමසීම මඟින් වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙන්ම, ප්‍රාදේශීය කාර්යාල පිහිටා ඇති ස්ථාන දැනගැනීමට ද හැකිය.
ප්‍රධාන කාර්යාලය,
අංක 129, අලුත්කඩේ වීදිය,
කොළඹ – 12.

  • දුරකථන අංක:
    011-5335329
    011-5335281
    011-2433618
    ඊමේල්: legalaid@sltnet.lk

නීති ආධාර සේවාව ලබා ගැනීමට අවශ්‍ය ලිය කියවිලි

නීති ආධාර කොමිෂන් සභා කාර්යාලයකට යන විට, කාලය ඉතිරි කර ගැනීමට සහ නිලධාරීන්ට අයදුම්කරුගේ ගැටලුව ඉක්මනින් අවබෝධ කරගැනීමට පහසු වීම සඳහා පහත දැක්වෙන ලේඛන සහ ඒවායේ පිටපත් රැගෙන යාම ඉතා වැදගත් ය.

  •  ජාතික හැඳුනුම්පත
  •  ගැටලුවට අදාළ සියලුම ලියකියවිලි
  •  ඉඩම් නඩුවක් නම් – ඔප්පු, පිඹුරු, පත්තිරු, නගර සභා/ප්‍රාදේශීය සභා ලිපි.
  •  නඩත්තු නඩුවක් නම්:- දරුවන්ගේ උප්පැන්න සහතික, විවාහ සහතිකය.
  •  රිය අනතුරක් නම් – පොලිස් පැමිණිල්ලේ පිටපතක්, රෝහල් වාර්තා, හානි වූ වාහනයේ ඡායාරූප.
  •  ඕනෑම ගැටලුවකදී – ඔබට ලැබුණු නීතිඥ ලිපි (එන්තරවාසි), උසාවි කැඳවීම් (සිතාසි) ආදිය.
  •  ග්‍රාම නිලධාරී ආදායම් සහතිකය – ආදායම් සීමාව යටතේ නීතිඥ සහාය ඉල්ලන්නේ නම්, මෙය අනිවාර්යයෙන් රැගෙන යා යුතුය.
  •  සිද්ධියට අදාළ පාර්ශ්වයන්ගේ තොරතුරු – ඔබට නඩු පැවරීමට අවශ්‍ය පුද්ගලයාගේ හෝ ආයතනයේ නිවැරදි නම, ලිපිනය වැනි දන්නා තොරතුරු.
Social Sharing
අවකාශය නවතම