
2024 වසරේ සිට මේ වසරේ (2025) මේ දක්වා සයිබර් අවකාශය තුළ වයස අවුරුදු 18ට අඩු දරුවන් 43 දෙනෙකු විවිධ ලිංගික අතවරවලට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය. එය පසුගිය වසරට හා සාපේක්ෂව බැලීමේදී මෙම වසරේ සියයට 50 ක පමණ වැඩි වීමක් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
2024 වසරේ වයස අවුරුදු 18ට අඩු දරුවන් 15 දෙනෙකු හා 2025 වසරේ වයස අවුරුදු 18ට අඩු දරුවන් 28 දෙනකු ලිංගික අතවරයට ලක්ව ඇතැයි ද ඔහු කීය.
2024 වසරේදී දරුවන් 282 දෙනකු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ද, 2025 වසරේදී දරුවන් 206 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද හෙතෙම කීය.
2024 වසරේ කාන්තාවන් 375 දෙනකු ලිංගික අතවරයට ලක්ව ඇතැයි ද, ඊට සම්බන්ධ සැකකරුවන් 114 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද, 2025 වසරේ මේ දක්වා කාන්තාවන් 118 දෙනකු ලිංගික අතවරයට ලක්ව ඇතැයි ද, මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
දරුවන් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, ළඟම පොලිසියට හෝ විශේෂයෙන් හඳුන්වා දී තිබෙන 119, 118, භාෂා තුනෙන්ම තිබෙන 109 හෝ 1997 දුරකතන අංකය හෝ නව පොලිස්පතිවරයාගේ 0718598888 දුරකතන අංකයට විශේෂයෙන් ඡායාරූපයකින් හෝ වීඩියෝ පටයකින් ඒ සඳහා යොමු කළ හැකි යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
