PTA යටතේ අත්අඩංගුවට ගත් තරුණයා මාස 9කට පසුව‍ නිදොස් කොට නිදහස්

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේයැයි පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර සිටි සැකකාර මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා නිදොස් කොට නිදහස් කිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය ඊයේ (16) නියෝග කර තිබේ.

සැකකාර තරුණයාට එරෙහිව නඩුව තවදුරටත් පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපති උපදෙස් ලබා දී ඇතැයි දෙහිවල පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටීමත් නඩුවේ ඉදිරි කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් සැකකාර තරුණයා නිදොස් කර නිදහස් කරන ලෙසට සැකකාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටීමත් යන කරුණු පදනම් කර ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරන ලදි.

සැකකරු වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු, වරුණ ජයසිංහ,අරුණි රණසිංහ, ඉල්හාම් හසනලි, යන නීතිඥවරු පෙනී සිටියහ.

මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූ බව පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 25 වන දින දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සැකකාර තරුණයා අත්අඩංගුවට ගත් මුල් අවස්ථාවේදී සැකකරු ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇතැයි දෙහිවල පොලිසිය අධිකරණයට දන්වා සිටියද මාස 9 කට අධික කාලයක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් අනතුරුව සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි නොමැති බවට දෙහිවල පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

සැකකාර තරුණයා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාලව කිසිදු අපරාධයක් අනාවරණය නොවූ බව පවසමින් සැකකාර තරුණයා ඇප මත මුදාහරින ලෙසට දෙහිවල පොලිසිය විසින් පසුගිය ජූලි මස 09 වන දින වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය දෙහිවල පොලිසියට දන්වා සිටියේ පසුගිය 2025 වර්ෂයේ මැයි මස 27 වන දින උද්ධෘත සකස් කර නීති කොට්ඨාසයට සහ නීතිපතිවරයා වෙත යොමු කරමින් නීතිපති උපදෙස් ලබා ගැනීමට දෙහිවල පොලිසිය කටයුතු කර ඇති පසුබිමක නීතිපතිවරයාගේ උපදෙස් වලින් තොරව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුට ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව 2025 ජුලි මස 15 වන දින නැවත නඩුව කැඳවමින් සැකකාර තරුණයා භෞතිකව අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී දෙහිවල පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් විසින් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්නගේ අත්සනින් යුත් ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා මෙම සැකකරුව ඇප මත මුදාහැරීමට උපදෙස් ලබා දී තිබෙන බව සඳහන් කළා.

එහෙයින් මහෙස්ත්‍රාත්වරිය සැකකාර තරුණයා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත පසුගිය ජූලි මස 15 වන දින මුදාහැරීමට නියෝග කරනු ලැබුවා.

ඊශ්‍රායල් විරෝධී ස්ටිකර් ඇලවීම හේතුවෙන් මොහොම් රුෂ්ඩි නමැති තවත් තරුණයෙකු ද මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගෙන රඳවා සිටි අතර ඔහු මේ වන විට අධිකරණයෙන් ඇප මත මුදාහැර තිබෙනවා.

උපුටා ගැනීම BBC සිංහල

Social Sharing
අවකාශය නවතම