එක්සත් ජනපද ජනාධිපතිවරණය: කලබල මැද  බයිඩන් තවදුරටත් පෙරමුණට

එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට අවසාන අදියරට ළගා වී ඇති අතර මේ වන විටත් බැට්ල්ග්‍රවුන්ඩ්ස් ලෙස විචාරකයන් හදුන්වන ප්‍රාන්ත 5 කම අවසන් ප්‍රථිඵල නිකුත් වී නැත.

බැටල්ග්‍රවුන්ඩ්ස්

එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී යම් අපේක්ෂකයකු එක් ප්‍රාන්තයක් ජය ගත් පසු එකී ප්‍රාන්තයට අදාළ ඡන්ද විද්‍යාල එනම් ඉලෙක්ටෝරල් කොලෙජ් ආසන ප්‍රමාණය ඒ ජයග්‍රාහී අපේක්ෂකයාට හිමි වෙයි. එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්තයන් සම්ප්‍රදායිකවම රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රටික් පක්ෂයට ජය ලියවී ඇත. ඒවායේ විශාල ඡන්ද පරතරයකින් ඒ පක්ෂයේ අපේක්ෂකයා ජය ගැනීම සාමාන්‍ය දෙයක්. උදාහරණයක් ලෙස කැලිෆෝනියාව ඩිමොක්‍රටික් අපේක්ෂකයාටත්  ඇලබාමා රිපබ්ලිකන් අපේක්ෂකයාටත් සාමාන්‍යයෙන් හිමියි.

නමුත් ප්‍රාන්ත කිහිපයක් එසේ නොවී නිරන්තරයෙන් ජනාධිපතිවරණ වලදී වෙනස් වෙයි. ඇරිසෝනා, විස්කොන්සින්, පෙන්සිල්වේනියා, ජෝජියා, ෆ්ලොරිඩා, එවැනි නිරන්තර වෙනස් වන ප්‍රාන්ත කිහිපයක්. බැටල් ග්‍රවුන්ඩ්ස් ලෙස සලකන්නේ මෙවන් ප්‍රාන්තයි. සැබැවින්ම එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී එහි ඡන්ද ව්‍යාපාරය ඉහළ මට්ටමින් පවතින්නේ මෙම ප්‍රාන්තයන් තුළයි. බැටල්ග්‍රවුන්ඩ්ස් නොවන ඇතැම් ප්‍රාන්තයන්හි ඡන්ද ව්‍යාපාරයන් පැවැත්වෙන්නේ නැති තරම්.

මේ වන විට බැටල්ග්‍රවුන්ඩ්ස් ප්‍රාන්ත වන නෙවාඩා, ඇරිසෝනා, පෙන්සිල්වේනියා හා උතුරු කැරොලිනා හි ඡන්ද විමසීම තවදුරටත් පැවැත්වෙයි. ජෝ බයිඩන් මේ වන විට ඡන්ද විද්‍යාල ආසන 253 ක් තහවුරු කරගෙන සිටී. එමෙන්ම ඇරිසෝනා ප්‍රාන්තයේ ජය බොහෝ දුරට බයිඩන්ට හිමිවන බවට බොහෝ ජනමාධ්‍ය තහවුරු කරමින් සිටියි. ඒ අනුව ඇරිසෝනා ප්‍රාන්තයට හිමි ආසන 11 ක් බයිඩන්ට හිමි වීමෙන් බයොඩන්ගේ ආසන ගණන 264 ක් වීමට නියමිතයි. බොහෝ මාධ්‍ය මේ වන විට වාර්තා කරන්නේ ආසන 264 ක් බයිඩන්ට හිමි බවයි.

නෙවාඩා ප්‍රාන්තයේ ද බයිඩන් ඉදිරියෙන් සිටි අතර එහි ජය හිමිවුවහොත් එහි ඡන්ද විද්‍යාල ආසන 6 හිමි වීමත් සමග බයිඩන් ජනාධිපතිවරණ ජයට අවශ්‍ය ඡන්ද විද්‍යාල ආසන 270 හිමි කර ගන්නවා ඇති.

එසේ තිබියදී වඩාත් පෙරළිකාර සිදු වීම් දෙකක් ඡන්ද ගණන් කිරීමේදී සිදු වූ අතර ඒ බොහෝ වේලාවක් ට්‍රම්ප් පෙරමුණේ සිටි ජෝජියා හා පෙන්සිල්වේනියා හි ද බයිඩන් පෙරමුණට පැමිණීමයි.

විශේෂයෙන් මේල් බැලට්ස් හෙවත් තැපෑලෙන් ප්‍රකාශ කල ඡන්ද වලදී බයිඩන් ඉතා ඉහළ මට්ටමින් ඉදිරියට පැමිණ තිබීම නිසා මෙම ජෝජියා හා පෙන්සිල්වේනියා හි බයිඩන්ට ඉදිරියට ඒමට හැකි වී තිබේ.

ජෝජියාවට ඡන්ද විද්‍යාල ආසන 16ක්ද පෙන්සිල්වේනියාවට ඡන්ද විද්‍යාල ආසන 20ක්ද තිබීම හේතුවෙන් මෙම බයිඩන්ගේ ඉදිරියට පැමිණීම ට්‍රම්ප් ජනාධිපති වරයාගේ ජයග්‍රහණයේ බලාපොරොත්තු තවදුරටත් හීන කරවයි.

විශේෂයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඩිමොක්‍රටික් පක්ෂයේ ආණ්ඩුකාරවරයා සහිත පාලනයන් ඡන්දය වංචා කරන බවට චෝදනා කලද ජෝජියාවේ සමස්ත පාලනය රිපබ්ලිකන් ආණ්ඩුකාරවරයා සහිත කණ්ඩායමක් සිදු කරද්දී ජෝජියාවේ බයිඩන් ඉදිරියට ඒම ට්‍රම්ප්ගේ චෝදනා අවලංගු කරවන්නක්.

මේ වන විට පවතින තත්වය අනුව එන්න එන්නම ට්‍රම්ප් ජනපතිවරයාගේ ජයග්‍රහණයේ අපේක්ෂා හීන කරවන අතර බයිඩන් ගේ ජයග්‍රහණය ලං වෙමින් පවතියි.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණය සම්බන්ධ ප්‍රකාශ හේතු කොටගෙන ට්‍රම්ප්ගේ ඇතැම් ආධාරකරුවන්  ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වැටලීමටත් උද්ඝෝෂණ සිදු

කිරීමටත් ආරම්භ කර තිබෙන අතර ඩිමොක්‍රටික් අපේක්ෂකයන්ද ට්‍රම්ප්ට එරෙහි උද්ඝෝෂණ තීව්‍ර කර තිබේ.

කෙසේ වෙතත් මැතිවරණ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ කිසිදු බියවැද්දීමකින් පසුබට නොවී අවසාන ඡන්දය දක්වා ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඔවුන් සිදු කරන බවයි.

-දුලාන් දසනායක-

Social Sharing
නවතම විදෙස්